පුපුරණ ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම ඇරඹේ

by Staff writer 18-01-2019 | 6:27 PM

COLOMBO (News 1st) - පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සිව්දෙනා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව පොලීසිය පවසයි.

පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේදී බුදුපිළිම කැඩීමේ සිදුවීමකට සම්බන්ධ බවට සැකකෙරෙන අයෙකු වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල්වත්තක සැඟවී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත විශේෂ කාර්ය බලකායේ ද සහය ඇති ව ඊයේ වැටලීමක් සිදු කළේ ය. පොලීසිය පැවසුවේ, වැටලීමේදී එම ස්ථානයේ රැඳී සිටි අවුරුදු 20 - 25 ත් අතර පසුවන සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් රැඳී සිටි ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමේදී වලදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කිලෝග්‍රෑම් 100 ක පමණ පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද බැරල් 3 ක් සහ නයිට්‍රික් ඇසිඩ් කැන් 6 ක් මෙහිදී සොයාගත් බවයි. ඩෙටනේටර් 99 ක්, වායු රයිෆලයක්, බෝර 12 තුවක්කුවක් ඊට යොදන පතරොම් 7 ක්, හිස්පතුරම් 7 ක්, කුඩාරම් 2 ක්, නවීන වර්ගයේ ඩිජිටල් කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, දෙමළ බසින් හා අරාබි බසින් මුද්‍රිත පොත්, වීසා බලපත්‍රයක් ඇතුළු ද්‍රව්‍ය රැසක් ද එහිදී හමුවිය. පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර පොල්වත්තේ හිමිකරුගේ පුත්‍රයා ද සිටින බවයි. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳව අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් විශේෂ පරීක්ෂාවක් සිදු කර තිබේ. පොලීසිය පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත දින 90 ක රැඳවුම් නියෝග මත සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවයි.