ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර 5 අවුරුදු සැලැස්මක්

by Staff writer 18-01-2019 | 6:08 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර 5 අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට අද අත්සන් තැබීය.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද එහි කළ සංචාරය අතරතුරයි. ඊට අදාළ ගිවිසුමට ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා අත්සන් තැබූහ. ජනාධිපතිතුමාගේ සිව්දින පිලිපීන රාජ්‍ය සංචාරයේ වැදගත් අවස්ථාවක් ලෙස ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ කළ නිරීක්ෂණ චාරිකාව හැඳින්විය හැකි බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මෙහිදී කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ කැපවීම අගය කිරීම පිණිස ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපතිතුමා නමින් නම් කිරීම ද සිදු විණි. වී වගාව සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම මෙන්ම ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ බීජ රෝපණය කිරීම පිළිබඳව ජනාධිපතිතුමා එහිදී නිරීක්ෂණය කර තිබේ. දේශගුණ විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සහ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම සඳහා ලෝක සහල් පර්යේෂණ ආයතනයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව ද එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී ජනාධිපතිතුමා දැනුවත් කළේ ය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා පැවසුවේ, දේශගුණික විපර්යාසවලට මුහුණදෙමින් ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත දේශයක් බවට පත් කිරීම තම අරමුණ බවයි.