හිටපු LTTE සාමාජිකයින් 2 කට10 වසරක සිරදඬුවම්

හිටපු LTTE සාමාජිකයින් 2 කට10 වසරක සිරදඬුවම්

by Staff writer 17-01-2019 | 6:11 AM
COLOMBO (News 1st) : අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට වරද පිළිගත් LTTE සංවිධානයේ හිටපු සාමාජිකයින් දෙදෙනෙකුට වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණ. ඒ දඩුවම් කාලය වසර 5 කින් ගෙවී යන ලෙසයි. විත්තිකරුවන්ට දඬුවම් නියම කළේ, උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතායි. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවනින් සහ ගොඩබිමින් එකවර පහර දී ගුවන් යානා 16 ක් විනාශ කර රුපියල් කෝටි 400 කට අධික අනර්ථයක් සිදුකළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල කර තිබිණ. නීතිපතිවරයා විසින් නගා ඇති අධිචෝදනාවන්ට වරද පිළිගැනීමට තමන් සුදානම් බව විත්තිකරුවන් දෙදෙනා නීතිඥවරයා මාර්ගයෙන් මහාධිකරණයට දන්වනු ලැබී ය. 2007 වසරේ සැප්තැම්බර් 22 වන දා අලුයම මෙම ප්‍රහාරය එල්ල වූ අතර පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මෙම විත්තිකරුවන් දෙදෙනා ඊයේ දින දඬුවම් නියම කරන තෙක් වසර 8 කට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවිය.