හපන්නට බැරි නම් බුරන්න එපා

by Staff writer 17-01-2019 | 8:26 PM
COLOMBO (News 1st) - යාපනය පේදුරුතුඩුවේදී ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා මාධ්‍ය පිළිබඳව අදහස් පළ කළේ ය. මෙහිදී ඔහු අප මාධ්‍ය ආයතනය දකුණේ භයානක ප්‍රචාරයක් කරමින් සිටින බවට චෝදනා කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මෙවැනි චෝදනාවක් අප වෙත නගන්නේ පසුගියදා ඔහු විසින්ම ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධවයි. පසුගිය 12 වන දා ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ ය. ජනාධිපති නිතීඥ එම්.ඒ. සුමන්දිරන් - පා.ම. මාධ්‍ය ප්‍රකාශක - දෙමළ ජාතික සන්ධානය
"සිංහල ජනතාවගේ හදවත් දිනා ගත යුතුයි. රට බෙදෙයි කියලා ඔවුන් තුළ විශාල බියක් තියෙනවා. ඒකට හේතුව මම දන්නේ නැහැ. බෙදෙන්නත් පුළුවන්."
මේ ප්‍රවෘත්තිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ මෙසේ පැවසුවේ ය. ජනාධිපති නිතීඥ එම්.ඒ. සුමන්දිරන් - පා.ම. මාධ්‍ය ප්‍රකාශක - දෙමළ ජාතික සන්ධානය
"එදා සිංහල ප්‍රවෘත්තියේ සිරස්තල විදියට ඒගොල්ලෝ කියන ප්‍රවෘත්තිය, වෙනම රටක් නිර්මාණය විය හැකි යැයි සුමන්දිරන් පවසනවා. ඒක තමයි ඒ ගොල්ලෝ කියපු ප්‍රවෘත්තිය. සිරස ප්‍රවෘත්තියෙන්."
12 වන දා කළ ප්‍රකාශයෙන් පසු දකුණේ තමන්ට එරෙහිව ගොඩනැගෙන විරෝධතා සහ තමා ආරක්ෂා කිරීමට කැප වී සිටින එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනුවෙන් මුලින් පැවසු දේ තමන් ප්‍රකාශ නොකළේ යැයි ඒත්තු ගැන්වෙන අයුරින් කටයුතු කිරීමට සුමන්දිරන් මහතා උත්සහ කරනු දැකිය හැකියි. මුලින් පැවසූ කරුණක් බලපෑම් හේතුවෙන් ඉල්ලා අස් කර ගන්නා තැනට වැටීමට, අපි දේශපාලනඥයින් නොවන අතර, මධ්‍යස්ථව වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යයක් බව ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතාට සිහිපත් කරන්නෙමු.