ගෝඨාභයට එරෙහි නඩුව 22 සිට අඛණ්ඩව විභාගයට

ගෝඨාභයට එරෙහි නඩුව 22 සිට අඛණ්ඩව විභාගයට

by Staff writer 17-01-2019 | 12:05 PM
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇත් නඩුව ලබන 22 වන දා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළේ ය. D A රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ පවරා ඇති මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවී ය. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් 18 දෙනෙකුට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වළක්වන නියෝගයක් ද නිකුත් කළේ ය. ඒ, ඔවුන් අතරින් කිහිපදෙනෙකු විදේශගත වීමට සූදානමක් ඇති බවත්, එක් අයෙකු හෝ විදේශගත වුවහොත් නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට බාධාවක් විය හැකි බවත්, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දීමෙන් අනතුරුවයි. නඩු විභාගය ආරම්භ කිරීමේ පසු සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සඳහා පැමිණිල්ල විසින් විශේෂ ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේ ය.