ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මි. 455ක සහන ණයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455ක සහන ණයක්

by Staff writer 17-01-2019 | 8:50 PM
COLOMBO (News 1st) - අපරාධ හා මත්ද්‍ර‍ව්‍ය මැඩලීමට පිලිපීන ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග ආදර්ශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ට් මහතා හමුවීමෙන් අනතුරුව ය. පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව ඊයේ පස්වරුවේ පැවැත්විණි. මේ අතර අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 3ක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 455ක ණය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා එකඟ වී තිබේ. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් කුළුණු මත ඉදිවන කොළඹ වරාය පිවිසුම් මාර්ගය ඉදිකිරීමට යොදවනු ඇති. විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 145කුත්, නගර සංවර්ධන ව්‍යාපෘතිවල ශක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක්‍ර‍මයක් සඳහා ඩොලර් මිලියන 10ක මුදලකුත් ලබා දීමට ද මෙහිදී එකඟතාව පළ වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව ජනාධිපතිවරයාට එකග වූ අමෙරිකානු ඩොලර් මිලියන 455ක මෙම ණය පහසුකම ලබා දෙන්නේ සහනදායී පදනමක් මත ය. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ ඩොලර් මිලියන 500ක වාරිකය ලබා ගැනීම සඳහා මුදල් ඇමතිවරයා වොෂින්ටන් නුවරට ගොස් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි. මූල්‍ය අරමුදල මේ පහසුකම ලබා දෙන්නේ දැඩි කොන්දේසිවලට යටත්ව ය. විනිමය පනත, දේශීය ආදායම් පනත ඇතුළු නීති ප්‍රතිසංස්කරණ මෙන්ම සමෘද්ධි අරමුදල් සහ විශ්‍රාම වැටුප් වැනි සුබසාධන කටයුතු සම්බන්ධයෙන් කෙරෙන වෙනස්කම් ද මෙම ණය ලබා දීමේ කොන්දේසිවලට ඇතුළත් බව පසුගිය දිනවල විපක්ෂය චෝදනා කළේ ය. දැඩි කොන්දේසි මත අධික පොළියකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 500ක වාරිකය ලබා ගැනීමට වෙහෙසෙද්දී සහන පදනමින් ඩොලර් මිලියන 455ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට ජනාධිපතිවරයාගේ පිලිපීන සංචාරයේදී හැකි වී තිබේ.