අගුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන්ට පහර දීම

අගුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන්ට පහර දීම: පරීක්ෂණ සඳහා තවත් කමිටුවක්

by Staff writer 17-01-2019 | 10:31 PM
COLOMBO (News 1st) - අගුණකොළපැලැස්ස බන්ධානාගරය තුළදී බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන් පිරිසකට පහර දුන් බව කියන සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවට අමතරව රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් තවත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව විෂය භාර අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. අගුණකොළපැලැස්ස බන්ධානාගරය තුළදී බන්ධනාගාර නිලධාරීන් රැඳවියන් පිරිසකට පහර දුන් බව කියන සිදු වීමේ දර්ශන පෙළක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යට නිකුත් කළේ ය. ඔවුන් පවසන්නේ, මෙම දර්ශන බන්ධනාගාර සී.සී.ටී.වී. කැමරාවල පසුගිය නොවැම්බර් මස 22 වන දින සටහන්ව තිබූ ඒවා බව ය. මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විෂය භාර අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ දිනයේ කමිටුවක් පත් කිරීමට පියවර ගත්තා ය. මේ අතර අදාළ කමිටුවට පත් කළ නිලධාරියෙකු පිළිබඳව පැමිණිලි කිරීම සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත පැමිණියහ. එමෙන්ම විෂය භාර අමාත්‍යවරිය පවසන්නේ, බන්ධනාගාර නිලධාරීන්ගේ මැදැහත්වීම මත මෙවන් ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව ය. මේ සිදුවීම සම්බන්ධයෙන් අප බන්ධනාගාර නිලධාරීවරයෙකුගෙන් කළ විමසීමකදී ද එය තහවුරු විය. ඔහුගේ පැහැදිලි කිරීමේ හඬ පටය අප සතුව ඇතත් එය ප්‍රචාරය කිරීම හරහා ඔහුගේ අනන්‍යතාව හෙළිවීම වැළැක්වීමේ අරමුණින් අප එය ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටියි. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් මෙලෙස වද හිංසාවලට ලක් කරනුයේ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ වෙනත් අරමුණු ඉටු කර ගැනීමේ චේතනාවෙන් බව ය.