තෙරේසා මේ නැවතත් ජයගනී

තෙරේසා මේ නැවතත් ජයගනී

තෙරේසා මේ නැවතත් ජයගනී

කර්තෘ Staff writer

17 Jan, 2019 | 9:19 am

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඇයට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාව දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට සමත්වූවා ය.

ඒ මෙරට වේලාවෙන් අද අලුයම එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදීයි

මෙහිදී ඇයට පක්ෂව ජන්ද 325 ක් ලැබී තිබූ අතර විපක්ෂව ජන්දය භාවිත කළ පිරිස 306 කි.

විප්ලවකාරී ටෝරි මන්ත්‍රීවරුන් සහ ඩීයූපී පක්ෂ මන්ත්‍රීවරුන් තෙරේසා මේ ට සහය පළ කිරීම ඇය මෙම විශ්වාස භංගය ජයගැනීමට මුල්විය.

කෙසේවෙතත් එම විශ්වාස භංග ජන්ද විමසීම පැවැත්වීමට පැය 24 කට පෙර ටෝරි සහ ඩී යූ පී පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම පරාජය කිරීමට ජන්දය ලබාදීම විශේෂත්වයකි.

ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍යවරිය එස් එන් පී , ලිබරල් ඩිමොක්‍රැටික් සහ ප්ලේඩ් සිම්රූ පක්ෂ නායකයන් හමුවු නමුත් ලේබර් පක්ෂ නායක ජෙරම් කෝබින් මෙම හමුවට සහභාගී නොවීය.

ජෙරමි කෝබින් සඳහන් කළේ, ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ විකල්පය ඉවත්කිරීමට තෙරේසා මේ පියවර ගන්නා තෙක් තමන් මෙම සාකච්ජාවලට සහභාගී නොවන බවයි .

කෙසේ වෙතත් මෙම සාකච්ජාවලට සහභාගීවීමට ඔහුට අවැසි නම් ඕනෑම වේලාවක දොර විවෘතව තබා ඇති බව ද තෙරේසා මේ ප්‍රකාශ කළා ය.

බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුධකාරී තත්ත්වය පහකර , බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්කරගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීම මෙම හමුවීම්වල අරමුණ ලෙස සඳහන් ය.

තෙරේසා මේ ලබන සඳුදා බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත කරගැනීමේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ජා කිරීමට මහජන මන්ත්‍රී මණ්ඩලය වෙත යාමට නියමිත වේ.

සිය ජයග්‍රහණයෙන් පසු ජාතිය ඇමතූ තෙරේසා මේ , ඉකුත් පැය 24 තුළ සිදුවු දේ අවිනිශ්චිත ස්වභාවයක් පෙන්නුම් කළ නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට අවැසි දේ ලබාගැනීමට එක්ව කටයුතු කරන බව ප්‍රකාශ කළා ය.