IMF නියෝජිත කණ්ඩායමක් පෙබරවාරි මාසයේ දිවයිනට

IMF නියෝජිත කණ්ඩායමක් පෙබරවාරි මාසයේ දිවයිනට

by Staff writer 16-01-2019 | 12:13 PM
COLOMBO (News 1st) - අයි.එම්.එෆ්. ණය වැඩසටහන් යළි මෙරටට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ලගාඩ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර හා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් අයි.එම්.එෆ්. කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලගාඩ් මහත්මිය සඳහන් කළේ, ලබන මස මැදදී සිය නියෝජිත පිරිස මෙරටට පැමිණීමට නියමිත බව ය. ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක ආර්ථික පරිසරය හා ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් පිළිබඳව සාකච්ඡාවක් කළ බව ක්‍රිස්ටියන් ලගාඩ් මහත්මිය ප්‍රකාශ කළා ය. ජනතාවට ප්‍රතිලාභ අත්වන පරිදි ශ්‍රී ලංකාව තිරසර ආර්ථික වර්ධන ගුණාත්මක ගමන් මගකට ගෙන ඒම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති මිශ්‍රයක් ක්‍රියාවට නැංවීම විශ්වාසය ගොඩනැගීමට වැදගත් බව ලගාඩ් මහත්මිය පෙන්වා දෙයි. අයි.එම්.එෆ්. ණය වැඩසටහන් යටතේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැප වන බවට බලධාරීන් සඳහන් කළේ යැයි ද ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය. අදාළ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය ලබා දීමට සූදානම් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.