2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ

2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ

by Staff writer 16-01-2019 | 2:26 PM
COLOMBO (News 1st) - ප්ලැටිනම් සම්මාන උළෙල... එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධාන කරනු ලබන පළමු ක්‍රීඩා සම්මාන උළෙලයි. අධ්‍යාපන අමාත්‍යංශයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය සමගින් මෙම වැඩසටහන කොළඹදී අද ආරම්භ විය. 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී අද ආරම්භ විය. මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල එළැඹෙන මාර්තු 29 වන දා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත ය. ඒ, 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශීය හා ජාත්‍යන්තර දක්ෂතා ඇගයීම උදෙසා ය. ප්‍රධාන සම්මාන 20ක්, ඇගයීම් පදක්කම් 10ක් මෙවර පිරිනැමීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ සේවාව වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන සුවිශේෂී ප්ලැටිනම් සම්මානය මෙවර ද පිරිනැමෙනු ඇති. මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල සඳහා ස්පෝට්ස් ෆස්ට් සමග අත්වැල් බැඳගන්නේ ලෝ ප්‍රකට අලියාන්ස් සමාගමයි. කොළඹදී අද ආරම්භ වූ එහි ප්‍රවර්ධන චාරිකාව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් ලබන මස 10 වන දා දක්වා ක්‍රියාත්මක වේ. ඊට සමගාමීව තෝරා ගත් පාසල් 30කදී ක්‍රීඩා වැඩමුළු පැවැත්වීමට නියමිත අතර එහිදී එක් දක්ෂතම ක්‍රීඩකයෙකු ‍හෝ ක්‍රීඩිකාවක තෝරා ගැනීමට නියමිත ය. අද දිනයේදී කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පිරීස් දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය. සමාරම්භක උළෙලෙන් පසු 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව ආරම්භ විය.