සේනා දළඹු වසංගතය

සේනා දළඹු වසංගතය: නිව්ස්ෆස්ට් හා පේරාදෙණිය සරසවි පර්යේෂකයින් ගොවි බිම් වෙත

by Staff writer 16-01-2019 | 7:32 AM
COLOMBO (News 1st) - සේනා දළඹුවන්ගෙන් හානියට පත් වගා බිම් පිළිබඳ අධ්‍යයනයක් අද සිට ආරම්භ කිරීමට නිව්ස්ෆස්ට් කටයුතු කර තිබේ. වගා බිම් වෙත ගොස් මෙම අධ්‍යයනය සිදු කරන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද සහය ඇතිව ය. බඩ ඉරිඟු බහුල ලෙස වගා කර ඇති දිස්ත්‍රික්කවල මේ අධ්‍යයනය සිදු කිරීමට නියමිත ය. අප කණ්ඩායම් අද අනුරාධපුර, මොනරාගල හා අම්පාර ප්‍රදේශවල වගා බිම් වෙත යාමට සැලසුම් කර තිබේ. මේ අතර සේනා දළඹු හානියෙන් බඩ ඉරිඟු ,වී ඇතුළු වගාවන් ආරක්ෂා කිරීම සඳහා ගොවීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් අද සිට ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව එම වැඩපිළිවෙළ ලබන 31 වන දා දක්වා ක්‍රියාත්මක බව ය. බඩ ඉරිඟු වගාවේ බහුල ලෙස ව්‍යාප්තව ඇති සේනා දළඹු වසංගතය වී, උක් හා එළවළු භෝග වගාවට ද පැතිරීමේ අවදානමක් මේ වන විට මතුව ඇති බව ද ඔහු සඳහන් කළේ ය. සේනා දළඹු හානියෙන් වගාවන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශිත පලිබෝධ නාශක භාවිතය මෙන්ම වගාව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කිරීම අතිශයින් වැදගත් බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.