රැඳවියන්ට පහරදීම ගැන සෙවීමට ත්‍රි පුද්ගල කමිටුවක්

අගුණකොළපැලැස්සේ රැඳවියන්ට පහරදීම ගැන සෙවීමට ත්‍රි පුද්ගල කමිටුවක්

by Sagarika Chathumali 16-01-2019 | 4:57 PM
COLOMBO (News 1st) : අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කර තිබේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පැවසුවේ, ලබන සඳුදාට පෙර අදාළ වාර්තාව ලබාදෙන ලෙස අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවයි. බන්ධනාගාර නිලධාරීන් විසින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට බිම දණ ගස්වා පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන නිකුත්වීමෙන් අනතුරුව මෙම විමර්ශනය පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මස 22 දා සිදුව ඇතැයි, පැවසෙන මෙම පහරදීම  පිළිබඳ සෙයා බැලීම සඳහා පත් කළ මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ,  බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ය. පහරදීම පිළිබඳ අදාළ කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය.