by Staff writer 16-01-2019 | 12:22 PM
COLOMBO (News 1st) - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් දීර්ඝ විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ, කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු අධිකරණය හමුවේ අද කරුණු දක්වනු ලැබී ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වනු ලැබුවේ, රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාපති ධූරයෙන් ඉවත් වූ පසුව ද නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවස්නයේ 709 කාමරය තවදුරටත් භාවිත කරන බවට විමර්ශනවලදී අනාවරණය වූ බව ය.
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී ඇත්තේ, කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙකුට රැකවරණ ලබා දීම හා සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙනි.