බ්‍රෙක්සිට් ගිවිසුම ඉවතට

බ්‍රෙක්සිට් ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉවතට: අගමැති තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

by Staff writer 16-01-2019 | 7:15 AM
(News 1st) - බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය. මන්ත්‍රීවරුන් 432 දෙනෙකු අතුරින් ඊට පක්ෂව ඡන්දය දුන්නේ 202 දෙනෙකු පමණි. මන්ත්‍රීවරුන් 230 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළේ ඊට විරුද්ධව ය. මෙම ඡන්ද විමසීම පැවැත්වුණේ, ලබන මාර්තු 29 වන දින බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ක්‍රමානුකූලව ඉවත් කර ගැනීමේ කොන්දේසි සම්මත කර ගැනීමේ අරමුණිනි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බ්‍රිතාන්‍යයේ ආණ්ඩු බලය හිමි පාලක පක්ෂයකට පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී මෙතරම් විශාල පරාජයක් අත් වූයේ ඉතිහාසයේ පළමු වරට බව ය. ඡන්ද විමසීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් පියවර ගත්තේ ය. විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට පැවැත්වීමට නියමිත ය. මෙම විශ්වාසභංගයෙන් තෙරේසා මේ පරාජය වුවහොත් බ්‍රිතාන්‍යයට මහ මැතිවරණයක් කැඳවීමට සිදු වනු ඇති. යුරෝපා සංගමය සමග බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීමට වසර දෙකක් ප්‍රයත්න දැරූ තෙරේසා මේට පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී අත් වූ පරාජය ප්‍රභල පහරක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මෙම ඡන්දය ඉකුත් දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද, මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමේ අරමුණින් එය මේ දක්වා ප්‍රමාද කිරීමට තේරේසා මේ පියවර ගත්තා ය. බ්‍රිතාන්‍ය ලබන මාර්තු 29 වන දා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිත වුව ද එය සිදු වන ආකාරය පිළිබඳව දැන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.