ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය:නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය: නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

by Sagarika Chathumali 16-01-2019 | 2:50 PM
COLOMBO (News 1st) : ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා ලබන 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් පළමු සැකකාර මර්සිලි තෝමස් නමැත්තාට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යන තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කිරීම සඳහා මෙම සතිය තුළ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට පියවර ගෙන ඇතැයි පෙන්වා දුන්නේ ය. ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් පසුගිය 07 වන දා එම විමර්ශන සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ නොකරන ලෙසට පසුගිය 04 වන දා අධිකරණය විසින් ලබාදෙන ලද නියෝගය නාමල් කුමාර නමැත්තා වෙත භාරදුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය. සිය දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවත්, පරීක්ෂණවලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල් ලබා ගැනීම සඳහා පසුගිය 14 වන දා ඔහු රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ බව ද කියා සිටියේ ය.