හින්දු බැතිමත්හු අද තෛපොංගල් දිනය සමරති

ලොවපුරා හින්දු බැතිමත්හු මහත් බැතියෙන් තෛ පොංගල් දිනය සමරති

by Staff writer 15-01-2019 | 6:25 AM
COLOMBO (News 1st) : ලොවපුරා හින්දු බැතිමත්හු අද මහත් බැතියෙන් තෛ පොංගල් දිනය සමරති. ඒ කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම අරමුණු කර ගනිමිනි. හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය, තෛ යනුවෙන් හැඳින්වෙන අතර, පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්නයි. ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ. නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම තෛ පොංගල් දිනයේ සිදුවන සුවිශේෂී කාර්යයකි. ස්වභාවධර්මය සමග බද්ධව සිදු කරන පූජෝත්සව අතුරින් මේ උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවනු දැකිය හැකියි. වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදු කිරිබත් ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඩක් ද හිරු දෙවියන්ට පුද කිරීම තෛ පොංගල් උත්සවයේ මුලික චාරිත්‍ර කිහිපයකි.