බඩ ඉරිඟුවලට වින කළ සේනා සියලු වගාවන්වලට ව්‍යාප්ත වීමේ අවදානමක්

by Staff writer 15-01-2019 | 8:10 PM
COLOMBO (News 1st) - බඩ ඉරිඟු වගාවට හානි කරමින් පැතිර යන දළඹු වසංගතය සෙසු වගාවන් වෙතත් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාවකින් පළමු වරට හමු වූ සේනා නමින් හඳුන්වන දළඹු විශේෂය ගෙවුණු මාස තුනහමාරක කාලය තුළ අම්පාර, මොනරාගල, කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් ව්‍යප්ත වී අවසන්. මෙරට බඩ ඉරිඟු වගා කළ හෙක්ටයාර 80,000ක පමණ වන වගා බිම්වලින් 50%කට පමණ මේ දළඹු වසංගතය ව්‍යප්ත වී තිබේ. බඩ ඉරිඟු වගාවට සීමා නොවූ සේනා දළඹු වසංගතය මේ වන විට මුං, කුරක්කන්, වී මෙන්ම ස්වයංජාත වැනි සම්ප්‍රදායික වී වගාවට ද බලපෑම් කරන්නට පටන් ගෙන ඇතැයි ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල කළ සංචාරයේදී දක්නට ලැබිණි. මීට වසර කිහිපයකට පෙර, පළමු වරට අමෙරිකාවේදී හඳුනා ගත් මෙම දළඹු විශේෂය පිළිබඳව පසුව අප්‍රිකාවෙන් වාර්තා විය. අප්‍රිකාවේ වගා බිම් රැසකට හානි කළ මෙම දළඹු විශේෂය පසුගිය වසරේ මැද භාගයේදී ඉන්දියාව පුරා ද ව්‍යාප්ත වූ අතර ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සේනා දළඹු විශේෂය ව්‍යාප්ත වන්නට ඇති බවට සැක කෙරේ. අනුර විජේතුංග - අංශ ප්‍රධානී සේනා දළඹුවා පිළිබඳ පර්යේෂණ අංශය (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව) මේ දළඹුවා ඇත්තම සළඹයෙක්. බිත්තර හැදෙනවා. බිත්තරවලින් කීටයෙක් හැදෙනවා. කීටයාගෙන් පිළවා. ඊට පස්සේ සළඹයෙක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ පියාඹන සමනළයෙක්. සළඹයා රෑටයි සැරිසරන්නේ. සළඹයා දුඹුරු පාටයි. සේනා දළඹුවාට ලා කොළ පාට ඉදලා දුඹුරු පාට දක්වා වෙනස් වෙන්න පුළුවන්. සතාගේ පිටිපස්සේ අන්තිම කණ්ඩයට පෙර කණ්ඩයේ හරි හතරැස් අකාරය පිහිටන තිත් හතරක් තියෙනවා. මෙම සළඹයාට, සුළං ප්‍රවාහයකට හසු වුවහොත් කිලෝමීටර් සියයක පමණ දුරක් වුව ද ගමන් කළ හැකි බව කෘෂි විද්‍යාඥයෝ පවසති. දැඩි ආක්‍රමණශීලී සත්ත්වයෙකු වන සේනා දළඹු විශේෂය මර්දනය කිරීමට එය ව්‍යාප්ත වූ කිසිම රටක් මෙතෙක් සමත් වී නොමැත. මේ අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයට එල්ල වී ඇති මෙම දැවැන්ත වසංගත තත්ත්වයට එක්ව මුහුණ දීම ජාතික අවශ්‍යතාවක් ලෙස සැලකූ නිව්ස්ෆස්ට් අද සිට තවත් ජාතික ක්‍රියාන්විතයකට මුල පිරුවේ ය. ඒ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සමග එක්ව අද විශේෂ පර්යේෂණ කණ්ඩායම් 03ක් මොනරාගල, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්ක බලා පිටත් කර යවමිනි. ඉදිරි දින කිහිපයේ දළඹුවන්ගෙන් හානියට පත් වගා බිම් වෙත ගමන් කරමින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද සහය ඇතිව පුළුල් අධ්‍යයනයක් කිරීමට නිව්ස්ෆස්ට් සූදානම්.