පොලිස්පතිගේ හඬ වාර්තාව මසක් තුළ අධිකරණයට

පොලිස්පතිගේ හඬ වාර්තාව මසක් තුළ අධිකරණයට

by Staff writer 15-01-2019 | 1:30 PM
COLOMBO (News 1st) : පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව මාසයක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඊයේ පොලිස්පතිවරයාගෙන් ලබා ගත් කටහඬ සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් ඇති බවයි. ඊයේ උදෑසන 10.00 ට පමණ පොලිස්පතිවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටි අතර පැයකට ආසන්න කාලයක් ඔහුගෙන් කටහඬ සාම්පල ලබා ගත් බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිය දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ප්‍රථම අවස්ථාව මෙය බවයි. ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල ලබා ගැනීමට අධිකරණය පසුගිය දා ලබා දුන් අවසරය අනුව පොලිස්පතිවරයා සිය කටහඬ සාම්පල රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන්නේ ය. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මෙම චෝදනාවට අදාළ රක්ෂිත බන්ධනගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඬ තිබේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා මෙලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ කටහඬ සාම්පල ලබා දුන් බව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.