ද. අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කීරීම්හි දෙවැනි තැනට

ද. අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කීරීම්හි දෙවන ස්ථානයට

by Staff writer 15-01-2019 | 9:53 AM
COLOMBO (News 1st) : නවතම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළේ ය. දකුණු අප්‍රිකා - පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමග අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සංශෝධනය වී තිබේ. ඒ අනුව පාකිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය සත්කාරක දකුණු අප්‍රිකාව නවතම ශ්‍රේණිගත කීරීම්හි දෙවන ස්ථානය හිමිකර ගෙන සිටී. ඒ ප්‍රසාද ලකුණු 110 ක් හිමිකර ගනිමිනි. මීට පෙර දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටියේ සිව්වන ස්ථානයේයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්තය තෙවන ස්ථානයටත්, නවසීලන්තය සිව්වන ස්ථානයටත් පසු බැස තිබේ. එංගලන්තයට ප්‍රසාද ලකුණු 108ක් හිමිකරගෙන ඇති අතර නවසීලන්තයට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 107කි. ශ්‍රේණිගත කිරීම්හි පස් වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර ශ්‍රී ලංකාව හය වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු ගණන 91කි. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ලැබූ පරාජය නිසා පාකිස්තානය ශ්‍රේණිගත කීරීම්හි 7 වන ස්ථානය දක්වා පහතට ඇද වැටීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාවට 6වන ස්ථානය හිමිව තිබේ. කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 116 ක් හිමිකරගනිමින් තවමත් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කීරීම්හි පෙරමුණේ, රැඳී සිටින්නේ ඉන්දියාවයි.