ජනපති නව වසරේ පළමු විදෙස් සංචාරය අරඹයි

ජනපති නව වසරේ පළමු විදෙස් සංචාරය අරඹයි

by Staff writer 15-01-2019 | 11:49 AM
COLOMBO (News 1st) : දින 05 ක රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පිලිපීනය බලා පිටත්ව ගියේ ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ , පිලිපීන ජනාධිපති රොඩිරිගෝ ඩියුටේට් මහතාගේ විශේෂ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි. දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම සංචාරයේ අරමුණයි. පිලිපීන ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්වීපාර්ශවීය සකච්ඡා හෙට පෙරවරුවේ පැවැත්වෙන අතර දෙරට අතර දීර්ඝ කාලිනව පවතින සබඳතා නව ක්ෂේත්‍රයන් කෙරෙහි ව්‍යාප්ත කරීමේ හැකියාව පිළිබඳව එහිදි අවධානය යොමු කෙරෙනු ඇති. සංචාරයේදී ජනාධිපතිවරයා මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ එරට පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ ද සංචාරය කිරීමට නියමිතයි. 1978 වසරෙන් පසු මෙරට රාජ්‍ය නායකයෙකුට පිලිපිනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරධනා ලැබුණු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.