ජනපතිගෙන් සහ අගමැතිගෙන් හින්දු ජනතාවට සුබ පැතුම්

ජනපතිගෙන් සහ අගමැතිගෙන් හින්දු ජනතාවට සුබ පැතුම්

by Staff writer 15-01-2019 | 7:57 AM
COLOMBO (News 1st) : බහුවිධ ආගම්, ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත් බව රැකීම සඳහා තෛ පොංගල් වැනි සංස්කෘතික උත්සව බෙහෙවින් ඉවහල් වනු ඇතැයි, සිය අදහස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තෛ පොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මිනිස් වර්ගයාගේ ජීවනාලිය බදු ගොවිතැනට අවශ්‍ය ජලය, ආලෝකය, උෂ්ණත්වය සහ සුළඟ යන සාධක වලට අධිගෘහිත වු සුර්ය දිව්‍ය රාජයාණන්ට කෘතඥතාව පුදකිරීම සඳහා ලෝකාවාසී දෙමළ ජනයා විසින් සමරනු ලබන මෙම උත්සවයට සුබ පැතුම් එක්කිරිමට ලැබීම සතුටට කරුණක් බවයි. ස්වභාව ධර්මය සහ මිනිස් වර්ගයා අතර වු ශක්තිමත් බැඳීම ඔප්නංවමින්, දෙමළ සංස්කෘතින් සහ කලාවේ සාරගර්භ හරයන් කළඑළි දක්වමින්, තෛපොංගල් උත්සවය සමරන ලක්වාසී දෙමළ ජනතාවට සහ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවට සිය ශූභාශිංසන පිරිනමන බව ද ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් සඳහන් කර තිබේ. මේ අතර තෛ පොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, තෛ පොංගල් උත්සවයේ සියලු චාරිත්‍ර වාරිත්‍ර මිනිසා සහ සොබාදහම අතර, සහජීවනය අර්ථවත් කරන අතරම මානව සමාජයේ සාමය, සතුට සහ සෞභාග්‍ය අරමුණු කරගනිමින්, ඉටුවන බැවින් එය දෙමළ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවට සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය කියාපාන අවස්ථාවක් බවයි. වාර්ගික, ආගමික අන්තවාදී බලවේග පරදවා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහනය කළ වටපිටාවක මෙවර තෛ පොංගල් උත්සවය සමරන්නට ලැබීම සතුටට කරුණක් බව ද අග්‍රමාත්‍යවරයා සිය පණිවුඩයෙන් සඳහන් කර තිබේ. විවිධ ජනවර්ගවල ආගමික, සංස්කෘතික උරුමයන්ට ගරු කරමින් එක්සත්ව දිවි ගෙවීමේ අගය අවධාරණය කරමින් තෛපොංගල් උත්සවය සමරන සහෝදර දමිළ ජනතාවට සිය සුභාශිංසන එක් කරන බවද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පණිවුඩයේ සඳහන් ය.