චීනයෙන් තවත් ඩොලර් මිලියන 300ක ණයක්

by Staff writer 15-01-2019 | 8:59 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබා ගැනීමට සූදානම් වන බව රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේ ය. එය අමෙරිකානු ඩොලර් මිලියන 1000ක් දක්වා වැඩි කර ගැනීමේ හැකියාව ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය. ශ්‍රී ලංකාව මේ වසර තුළ විශාල විදේශ ණය ප්‍රමාණයක් ගෙවීමට නියමිතව සිටියි. මේ අතර වාරයේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අඛණ්ඩව පහළ යාමේ තත්ත්යක් ද නිර්මාණය වී තිබිණි. ශ්‍රී ලංකාවට තවදුරටත් ණය ලබා ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් ද නිර්මාණය වී තිබුණේ එම පසුබිම තුළ ය. ඉදිරියේදී චීනයෙන් ලබා ගැනීමට නියමිත ණය මුදල පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් අප කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, චීන බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවෙන් රුපියල් මිලියන 300ක් ලබා ගැනීමට කටයුතු කරමින් ඇති බව ය. ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 09 වන දායින් අවසන් සතිය තුළ විදේශිකයින් මෙරට රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 3600ක් ඉවත් කර ගෙන තිබේ. එම සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොළ තුළ විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 753ක කොටස් ද විකුණා දමා තිබේ. එම සතිය තුළදී පමණක් මෙරටින් ගලා ගොස් ඇති මුළු මූල්‍ය ප්‍රවාහයේ වටිනාකම රුපියල් මිලියන 4353කි. පසුගිය වසර තුළදී මෙරට සුරැකුම්පත්වල විදේශිකයින් ආයෝජනය කර තිබූ රුපියල් බිලියන 160ක් ඉවත් කර ගෙන තිබිණි. මේ අනුව 2018 දෙසැම්බර් 31 වන විට රට සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6936ක් දක්වා පහළ ගියේ ය.