මාධ්‍යට එරෙහි අයට එජාප සම්බන්ධ නැහැ කියයි...

මාධ්‍යට එරෙහි අයට එජාප සම්බන්ධ නැහැ කියයි.. ඇත්ත කුමක්දැයි රටේ ජනතාවට නම් පැහැදිලියි..!

by Staff writer 14-01-2019 | 7:53 PM

COLOMBO (News 1st) - මාධ්‍ය ආයතනවලට එරෙහි විරෝධතාවලට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැතැයි එම පක්ෂය පවසන බව ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කර තිබේ.

ඩේලි මිරර් වාර්තාවේ සඳහන් වූයේ, අදාළ විරෝධතා සංවිධානය කර තිබුනේ සමාජ ක්‍රියාකාරීන් විසින් යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ බවයි. ඔක්තෝබර් 26 වෙනි දායින් පසු ඇති වූ තත්ත්වය හේතුවෙන් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා එම විරෝධතා ක්‍රියාත්මක වූ බව එක්සත් ජාතික පක්ෂය එම නිවේදනයේ සඳහන් කර තිබුණි. මේ අතර සති අන්තදී අයිලන්ඩ් පුවත්පත ද ඊයේ වාර්තා කළේ, මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිට ඉකුත් බ්‍රහස්පතින්දා පැවති විරෝධතාවලට එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් නොමැති බවයි. එහෙත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ මෙම ප්‍රකාශය ඔබට මතක ද? (2018-12-21) අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ
මං හිතන්නෙ අපේ විජිතමුණි සොයිසා මන්ත්‍රීතුමා හරි වාසනාවන්තයෙක් මොකද හැම මාධ්‍යයටම නඩු දැම්මම කොච්චර හම්බෙයිද මිලියන සීයක් එකතු කරයිද. ඕගොල්ලො එක්කෙනෙක්ගෙන් මිලියන 10 ගත්තත් කොහොමද. ඉතිං තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒකයි කියන්නෙ කළු මාධ්‍යයි කියලා. අද මම හිතන්නේ අපි යෝජනා‍ කරලා තියෙන කළු මාධ්‍ය ගැන ජනවාරි මාසයේ අපි හොඳ විවාදයක් මෙහි තියලා නම් කරන්න ඕන, ඔක්කොමලා නම් කරලා උඩ ඉදන් පල්ලෙහාට
ඉකුත් බ්‍රහස්පතින්දා මාධ්‍ය ආයතන ඉදිරිපිටට පැමිණ NGO ඩොලර් කාක්කන් ද පැවසුවේ කළු මාධ්‍ය හෙළා දැකිය යුතු බවයි. තමන් සම්බන්ධ නැතැයි එක්සත් ජාතික පක්ෂය නිවේදන නිකුත් කළ ද ඇත්ත කුමක්දැයි රටේ ජනතාවට නම් පැහැදිලියි. NGO ඩොලර් කාක්කන් දැන් සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ අපහාස කරමින් සිටි. මඩ ප්‍රචාර ගෙනයන මේ NGO ඩොලර් කාක්කන්ට එරෙහිව රටේ නීතිය ඉදිරියට යාමට අප දෙවරක් නොසිතන බව ද සිහිපත් කරන්නෙමු. සත්‍යයේ සටහන - බුද්ධියේ විමසුමට