අගමැති නිර්දේශයෙන් අත්හිටවූ ගිවිසුමක් නිසා මසකට රුපියල් මිලියන100 ක් ගිල දමන ගුවන් යානය

by Staff writer 14-01-2019 | 7:36 PM

COLOMBO (News 1st) - රටේ ණය බර වැඩි වෙද්දී මාසයකට රුපියල් මිලියන 100 කට අධික මුදලක් වැය කරමින් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා ගුවන් යානයක් මාස ගණනාවක සිට කටුනායක ගුවන් තොටුපොළේ ගාල් කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති පැවසූවේ, සමාගමට නවීණ ගුවන් යානා මිලදී ගැනීමේදී අනුගමනය කළ වැරදි තීරණ හේතුවෙන් මෙම පාඩුව විදීමට සිදු ව ඇති බවයි. ශ්‍රීලංකන් ගුවන් සමාගමට ඒ 350 - 900 වර්ගයේ ගුවන් යානා හතරක් මිලදී ගැනීමටත් තව ත් යානා තුනක් කල්බදු ක්‍රමයට ලබාගැනීම සඳහාත් 2013 වසරේදී එයාර් කැප් නමැති සමාගම සමග එකඟතාවකට එළඹිය. එම යානා නිෂ්පාදනය කිරීමට ඇණවුම් ලබාදී තිබූ අතරවාරයේ ආණ්ඩු වෙනස සිදු වූ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගනුදෙනුවට අදාළ ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කළේ ය. අමෙරිකානු ඩොලර් මිලියන 98 ක වන්දි මුදලකට යටත්ව එයාර් කැප් සමාගම සමග ඇණවුම් අවලංගු කිරීමේ ගිවිසුමට එළැඹුනේ තව ත් කොන්දේසි කිහිපයකට යටත්වයි. එවක ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ සුරේන් රත්වත්තේ මහතා ඇතිකරගත් මෙම එකඟතාවට අනුව ඒ 330 - 200 වර්ගයේ යානයක් ලබාගත යුතු විය. අතිවිශාල මුදලක් වන්දි ලෙස ගෙවා දමා තව ත් රුපියල් මිලියන 100 බැගින් මාසයකට නිකරුණේ වැය කරන මේ ගිවිසුමට එළැඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති ආකාරය ද පුදුම සහගතයි. 2016 ඔක්තෝබර් 3 වන දා අගමැති උපදේශක චරිත රත්වත්තේ මහතා සමාගමේ සභාපතිවරයාට යැවූ බව කියන මේ ඊමේල් පණිඩිඩයේ දැක්වෙන්නේ, අගමැතිවරයා මෙම ගනුදෙනුව ක්‍රියාත්මක කරන ලෙස සභාපතිවරයාට උපදෙස් දෙන්නැයි තමන්ට නිර්දේශ කළ බවයි. රටට විශාල පාඩුවක් අත්කරදුන් මෙම ගනුදෙනුව අගමැතිවරයාගේ නිර්දේශ මත සිදුකළ බව ඔහුගේම උපදේශක චරිත රත්වත්තේ මහතා යැවූ ඊමේල් පණිවිඩයෙන් අනාවරණය වේ. මේ අයුරින්ම මහ බැංකු බැඳුම්කර වංචාවට මුල් වූ 2015 පෙබරවාරි මාසයේ සිදු වූ ගනුදෙනුවේදී එතෙක් පැවති ක්‍රමය වෙනුවට වෙන්දේසි ක්‍රමයට බැඳුම්කර නිකුත් කරන්නැයි අගමැතිවරයා උපදෙස්දී තිබූ බව අනාවරණය විණි. හිත මිතුරන් තනතුරුවලට පත්කර ගනිමින් ක්‍රමවේදයන් වෙනස් කර සිදුකළ මෙවැනි ගනුදෙනු නිසා අවසානයේ පීඩාවට පත්වන්නේ රටේ ජනතාව නොවේ ද?