මෑත කාලීන විශාලතම ණය වාරිකය අද ගෙවා දැමේ

මෑත කාලීන විශාලතම ණය වාරිකය අද ගෙවා දැමේ

කර්තෘ Staff writer

14 Jan, 2019 | 5:59 pm

COLOMBO (News 1st) – මෑත කාලීනව රජය ගෙවිය යුතු විශාලතම ණය වාරිකය අද ගෙවා දැමීමට සිදුවිය.

2014 ආණ්ඩුව ලබාගත් ස්වෛරීත්ව යුරෝ බැඳුම්කරයක් සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් අද ආපසු ගෙවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

මේ වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක ණය වාරික ගෙවීමට සිදු ව ඇති අතර ඒ අතරින් එකවර ගෙවිය යුතු වූ විශාලතම ණය වාරිකය මෙයයි.

රොයිටර් පුවත් සේවයට අනුව මෙම මුදලින් ඩොලර් බිලියන 2.6 ක් මේ වසරේ මුදල් මාස 3 ඇතුළත ආපසු ගෙවීමට සිදු වේ.

අද ගෙවිය යුතුව තිබූ අමෙරිකානු ඩොලර් බිලියනය රාජ්‍ය බැංකු 3 හරහා ලබා ගැනීමට උත්සාහ කළත් සම්පූර්ණ මුදල ලබා ගැනීම සාර්ථකවී නැතැයි මහබැංකුව හා මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.

මේ අනුව විදෙස් සංචිතවලින් එම ඉතිරි මුදල් ප්‍රමාණය ලබාගෙන ණය වාරිකය ගෙවා ඇතැයි රොයිටර් වාර්තාවේ සඳහන් විය.

සම්පූර්ණ ණය වාරිකය විදේශීය සංචිතවලින් ගෙවා දැමීමට සැළසුම්කර තිබුනත් දින 52 ක කාලයේ ඇති වූ තත්ත්වය නිසා විදේශීය ආයෝජකයින් විශාල වශයෙන් සංචිත ඉවත් කරගැනීම නිසා එම ඉලක්කයට ළගා කර ගැනීමට නොහැකි වූ බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවක් සඳහා මේ වනවිට වොෂින්ටන් නුවරට ගොස් සිටි.

හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුනේ, වොෂින්ටන් නුවර පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාර්ඩ් මහත්මිය සමග සාකච්ඡාව සැලසුම්කළ වේලාවට නොපැවැත්වෙන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ අවසන් කොටස ලබාගැනීම සඳහා මෙහිදී සාකච්ඡා කරන බව මුදල් අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කර තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]