by Staff writer 13-01-2019 | 10:01 PM
COLOMBO (News 1st) : මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිට ඉකුත් බ්‍රහස්පතින්දා සමාජ ක්‍රියාකාරි කණ්ඩායම් විරෝධතාවල නියැලීමට එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් නොමැති බව එම පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
අදාළ නිවේදනය උපුටා දක්වමින් දි අයිලන්ඩ් පුවත් පත අද වාර්තා කළේ, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරිමට හා ප්‍රවර්ධන කිරීමට එම පක්ෂය කැපවන බව නිවේදනයේ සඳහන් බවයි.
අදාළ මාධ්‍ය ආයතන විසින් ප්‍රශ්නගත සාමකාමී හා ශිෂ්ඨ සම්පන්න විරෝධතාවලට සහභාගිවූවන් රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් හා කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගැසීම කණගාටුවට කරුණක් බව ද, එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
විරෝධතාවල නිරත වූ කණ්ඩායම් විසින් භාරදුන් සංදේශ භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් තම අධිපතිවාදී ස්වරූපය පිළිබිඹු කළ කළු මාධ්‍ය හෙළා දකින බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් බව දි අයිලන්ඩ් වාර්තාවේ දැක්වේ.
මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට තර්ජන එල්ල වූ අවස්ථාවලදී, මාධ්‍ය නිදහස් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙනී සිටියේ කෙසේ ද යන්න නැවත සිහිපත් කළ යුතු බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කර ඇති අදාළ නිවේදනයේ සඳහන් බව දි අයිලන්ඩ් වාර්තාවේ දැක්වේ.
මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බවට නිවේදන නිකුත් කරන එක්සත් ජාතික පක්ෂ නායකත්වය පසුගිය 21 වන දා පාර්ලිමේන්තුවේදි හැසිරීමෙන් එය පෙන්වූයේ මෙලෙසින්.
"මං හිතන්නෙ අපේ විජිතමුණි සොයිසා මන්ත්‍රීතුමා හරි වාසනාවන්තයෙක් මොකද හැම මාධ්‍යයටම නඩු දැම්මම කොච්චර හම්බෙයිද මිලියන සීයක් එකතු කරයිද.ඕගොල්ලො එක්කෙනෙක්ගෙන් මිලියන 10 ගත්තත් කොහොමද.ඉතිං තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒකයි කියන්නෙ කලු මාධ්‍යයි කියලා.අද, මම හිතන්නේ අපි යෝජනා කරලා තියෙන කළු මාධ්‍ය ගැන ජනවාරි මාසයේ අපි හොද විවාදයක් මෙහි තියලා නම් කරන්න ඕන, ඔක්කොමලා නම් කරලා, උඩ ඉදන් පල්ලෙහාට"
පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය ආයතන ඉදිරිපිට මෙලෙස හැසිරුණු එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධයක් නැතැයි පක්ෂය නිවේදන නිකුත් කළද, සැබෑව ඊට වෙනස් බව තතු දත් සියල්ල දන්නා බව කරුණකි.
මාධ්‍ය ක්‍රියා කළ යුතු ආකාරය ගැන උපදෙස් දීමට පැමිණි මේ කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ඇතිකරන්නැයි ඉල්ලා විවිධ ස්ථානවල මේ අයුරින්ම විරෝධතා පැවැත්වූවන් ය.
පසුගිය නොවැම්බර් 28 වන දා මහ වැස්සේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ මෙලෙස විරෝධය දැක්වූයේ ශ්‍රී ලංකාවේ කාන්තාවෝ ලෙස හඳුන්වාගත් කණ්ඩායමයි.
අනතුරුව නොවැම්බර් 29 වැනිදා දිදුලන හදවත යැයි කියු පිරිසක් වෙස් මුහුණු පැළැඳ නැවත ජනාධිපති කාර්යාලය ඉදිපිට විරෝධතාවක නිරත විය.
පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධය පල කළ බොහෝ දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වූ සත්‍යග්‍රහයේ ද දැකගත හැකිවිය.
වික්‍රමසිංහ මහතා නැවත පත් කළ වහාම ඔවුන් එම සත්‍යග්‍රහය අත්හැරියේ ය.
එන්.ජී.ඕ.ඩොලර් කාක්කන් මාධ්‍ය ආයතන ඉදිරිපිටට පැමිණියේ කළු මාධ්‍ය යැයි කියමින් කිහිප දෙනෙකුම මාධ්‍යයට අනතුරු ඇඟවීම් කර ඇති පසුබිමකයි.
මේ එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් බැදුම්කර වංවාච සිදුකර වංචනිකයින් රටින් පැන යද්දී සැඟව සිටියේ කොහේද.?
රට දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ තිබියදී, අධිවේගී මාර්ග සදහා අධික පොලියට වාණිජ ණය ලබා ගනිද්දී මේ එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් සැඟව සිටියේ කොහේ ද.?
නිසි ක්‍රමවේදයෙන් බැහැරව ටයිසේ වැනි ආයතනයවලට මේ කොන්ත්‍රාත් ලබා දෙද්දී, මේ එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් වීදි නොබැස්සේ ඇයි.?
මේ චෝදනා එල්ල වන්නේ සමස්ත එක්සත් ජාතික පක්ෂයට නොවේ.
පක්ෂ නියෝජ්‍ය නායකත්වය ඇතුළු රටට හිතැති බොහෝ දෙනා නායකත්වයේ මෙහෙයවීමෙන් එන්.ජී.ඕ.ඩොලර් කාක්කන් සිදුකරන මේ ක්‍රියාවන් හොලා දැක තිබේ.
එවන් පසුබිමකදි අයිලන්ඩ් පුවත්පත අද කරුණු සහිතව පෙන්වා දී තිබුණේ මාධ්‍යයට එරෙහි ප්‍රහාර එක්සත් ජාතික පක්ෂය නැවත නව ස්වරූපයකින් ආරම්භ කර ඇති බවයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ ඉදිරිපත් වූ විශ්වාසභංගය ඔහු ජයගත් මොහොතේ ඔහුගේ ආධාරකරුවන් එම්.ටී.වී./ එම්.බී.සී. ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට කළහාකාරිව හැසිරුණු ආකාරයටද පුවත්පත් වාර්තාවේ සිහිපත් කර තිබේ.
ද අයිලන්ඩ් මාධ්‍යවේදියා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ සිදුවීම පෙර සිදුවීමට වඩා බරපතළ සිදුවීමක් සේ සැලකිය යුතු බවයි.
ඒ, එය සංවිධානාත්මකව සිදුකර ක්‍රියාවක් බව මනාව ප්‍රකට වීම හේතුවෙනි.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වූ මැතිවරණය වැළැක්වීම සඳහා ද විදේශ රටවලින් මුදල් ගෙන කටයුතු කළේ මේ පුද්ගලයන්ම බව අයිලන්ඩ් මාධ්‍යවේදියා සිහිපත් කර තිබේ.
ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරන්නේ, බටහිර රටවල මුදල් ලබාගෙන මාධ්‍ය ආයතන ඉදිරිපිට මෙලෙස සිදු කෙරෙන උද්ඝෝෂණ පිළිබඳව අප තේරුම් ගත යුත්තේ කුමක් ද යන්නයි.
https://www.youtube.com/watch?v=f4pFnM8ZqzU