මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

by Staff writer 13-01-2019 | 8:58 PM
COLOMBO (News 1st) : වත්මන් ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය අතර කිසිදු එකඟතාවක් නොමැති බවට දෙපාර්ශවයම අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළේ ය. නමුත්, එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර එකඟතාවක් පවතින බවට මේ වනවිට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයෝ ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පැමිණි අවස්ථාවේදී සිය සන්ධානය හා අග්‍රාමාත්‍යවරයා අතර බොහෝ සාකච්ඡා සිදු වූ බවයි. පෙරේදා පර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත සහ උතුරු සංවර්ධනය අග්‍රාමාත්‍යවරයා යටතට පත් කිරීම එම සාකච්ඡාවල ප්‍ර‍ථිඵල බව සුමන්තිරන් මහතා පෙනවා දෙයි.
"අමැතිට එරෙහි විශ්වාසභංගය ආපු වෙලාවේ අපි සහය දීපු එක ගැන විවේචන තියනවා.ඒත් ඒ වෙලාවේ අපි ගොඩක් දේවල් සාකච්ඡා කලා.ඊයේ පාර්ලිමේන්තුවට ආව කෙටුම්පතත් ඒකේ ප්‍රථිඵලයක්.අපේ ප්‍රදේශ සංවර්ධනය කිරීමට ප්‍රමුඛතාව දෙන්න ඕනේ කියලා අපි කිව්වා. අගමැති යටතට උතුරු නැගෙනහිර සංවර්ධය දීලා තියන හේතුව තමයි ඔහුගේ නායකත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ ද නියෝජිතයින් සහභාගී වෙලා ඉක්මනින් මේ සංවර්ධන කටයුතු කිරීම.ඒ සමහර එකඟතාවයන්ට අපි ඇවිල්ලා තියනවා"
මේ අතර ඉලංගෙයි තමිල් අරුසු කච්චි නායක මාවේ සේනාධිරාජා මහතා ද ඊයේ ප්‍රකාශ කළේ, දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කර කැබිනට් තීරණ ගැනීමේ යාන්ත්‍ර‍නයක් නිර්මාණය කර ඇති බවයි.
"කැබිනට් එක තීරණයක් ගන්නවනම් දෙමළ ජාතික සන්ධානයත් එක්ක කතා කලාට පස්සේ තමයි ඒක ගන්න ඕනේ කියන දේ යාන්ත්‍ර‍ණයක් විදිහට ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියනවා. ඒ යාන්ත්‍ර‍‍ණය දැනටත් ක්‍රියාත්මකයි.අපිත් එක්ක කතා කරලා තමයි ආණ්ඩුව වැඩ කරන්න ඕනේ.ඒකට කණ්ඩායමකුත් පත් කරලයි තියෙන්නේ"
මේ අතර ඊයේ සවස යාපනයේ පැවති තවත් උත්සවයකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ, රට බෙදී යාමට ද ඉඩ කඩ ඇති බවයි.
"සිංහල ජනතාවගේ හදවත් දිනා ගත යුතුයි. ඒකට අවස්ථාවක් උදා වෙයිද කියලා ප්‍රශ්නයක් නැගුණා. සැකයක් තියෙනවා. ඔවුන්ගේ ඒවා අපි අත්පත් කරගන්න යන්නේ නැහැ. අපිට අයිති දේවල් ඔබලා රඳවාගන්න එපා කියලයි අපි ඉල්ලන්නේ. එච්චරයි. රට බෙදෙයි කියලා ඔවුන් තුළ විශාල බියක් තියෙනවා. ඒකට හේතුව මම දන්නේ නැහැ. බෙදෙන්නත් පුළුවන්.මේ වගේ වාර්තාවක් එන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් කිව්වේ. නමුත් දැන් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ආණ්ඩුව තුළම ඒකට අවස්ථාවත් තියෙනවා. අද ආණ්ඩුව තීරණය කරන බලවේගය වෙලා තියෙන්නේ අපි"