ඉන්දීය ධීවරයින් සොයා නාවික හමුදා මෙහෙයුමක්

අනතුරට පත් ඉන්දීය ධීවරයින් සොයා නාවික හමුදා මෙහෙයුමක්

by Sagarika Chathumali 13-01-2019 | 4:11 PM
  ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී අනතුරට පත් ඉන්දීය ධීවරයන් පිරිසක් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විශේෂ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. නාවික හමුදාව පැවසුවේ, මේ වන විට ඉන්දීය ජාතික ධීවරයින් 8 දෙනෙකු මුදා ගෙන ඇති අතර තවදුරටත් නාවික හමුදාව මගින් ප්‍රදේශයේ සෝදිසි කටයුතු සිදුකරමින් සිටින බවයි. මුදා ගත් ධීවරයන් මූලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කළේ ය. ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංඝණය කරමින් ඉන්දියනු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටිනු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරීක්‍ෂණය කර තිබේ. නාවික හමුදාව පැවසුවේ, එහිදි ධීවර යාත්‍රා 2ක් සහ ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවයි. මෙහිදී සෙසු ධීවර යාත්‍රා නැවතත් ඉන්දියානු මුහුදු සීමාව දෙසට පලා ගොස් ඇති අතර ඒ අවස්ථාවේ මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් ඉන්දීය ධීවර යාත්‍රා 2ක් එකිනෙක ගැටීමෙන් ‍මෙම අනතුර සිදු වී ඇතැයි, නාවික හමුදාව පවසයි.