by Staff writer 12-01-2019 | 4:18 PM
COLOMBO (News 1st) - ආණමඩුව, සීදුව, පිළියන්දල හා අම්බලන්තොට ප්‍රදේශවලදී කාන්තාවක ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු ඝාතනය කර තිබේ.
ආනමඩුව පූනවිටිය, ආඩිගම ප්‍රදේශයේ නිවසක් අසළ ඝාතනය කළ කාන්තාවගේ සිරුරක් සොයා ගැනුණේ අද අලුයමයි.
මළ සිරුරේ ගෙල වයරයකින් සිර කර අත් දෙක ගැට ගසා තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.
ඝාතනයට ලක්ව ඇත්තේ, 66 හැවිරිදි ආඩිගම ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
මේ අතර සීදූව ප්‍රදේශයේදී ද පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මුදල් ආරවුලක් මත සිදු වූ බහින්බස් වීමක් දුරදිග ගොස් කාන්තාවක් විසින් පුද්ගලයෙකු තල්ලු කර ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය.
ඝාතනයට ලක්ව ඇත්තේ, 48 හැවිරිදි කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සම්බන්ධයෙන් ආදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පිළියන්දල, හැඩිගම අලුත් පාරේ තිබියදී සොයා ගත් බෙල්ලේ සහ පපු ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන ආරම්භ කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ, 22 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මේ අතර අම්බලන්තොට අරවනමුල්ල, පහළ බැරගම ප්‍රදේශයේදී මල් පෝච්චියකින් පහර දී පුතෙකු විසින් සිය 56 හැවිරිදි පියා ඝාතනය කර තිබේ.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාම ඝාතනයට හේතු වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසුවේ ය.