මොවුන් සැබවින්ම ජනතා ක්‍රියාකාරිකයින් ද? නැත්නම් බළල් අත් ද?

by Staff writer 12-01-2019 | 8:47 PM
COLOMBO (News 1st) - ජනතා ක්‍රියාකාරී සංවිධාන නමින් පෙනී සිටින විවිධාකාර වූ පාර්ශවයන් විශාල පිරිසක් හතු පිපෙන්නාක් මෙන් බිහිව ඇති ආකාරයත්, ඒවා විශේෂයෙන් කොළඹ නගරය අවට ක්‍රියාත්මකව ඇති ආකාරයත් මේ දිනවල දැක ගත හැකි ය. යහපත් චේතනාවෙන් බිහි වුණ, කටයුතු කරන, රජයේ ලියාපදිංචි වුණ සැබවින්ම ජනතා හිතවාදී සංවිධාන පවතී. නමුත් ඇතැම් සංවිධාන පසුපසින් සිටින්නේ කවුරුන් ද යන්න ජනතාව විමසයි. පසුගිය දේශපාලන අර්බුදය සමයේ රනිල් වික්‍රමසිංහට ආවඩන්නට පෙළ ගැසුණු මින් පෙර කිසිදා අසා නොමැති විවිධ පාර්ශවවලින් මූල්‍ය ප්‍රතිපාදන ලත් සංවිධාන ඉන් අනතුරුව වෙනත් පටු පරමාර්ථ හා දේශපාලන න්‍යායපත්‍ර වෙනුවෙන් හඬන අයුරු පසුගියදා දැක ගන්නට ලැබිණි. ඔවුන් සැබවින්ම ජනතා ක්‍රියාකාරකයින් ද? නොඑසේ නම් බළල් අත් ද? මෙරට ඉතිහාසයේ දූෂිතම සහ විශාලතම වංචාව ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව මේ කවර හෝ ජනතා සංවිධානයක් වැස්සේ තෙමෙමින් උද්ඝෝෂණය කළා ද? තම හිතවතුන් තනතුරුවලට පත් කර මෙරට අභිමානය වන ජාතික ගුවන් සේවයට වසර 3ක් තුළ රුපියල් බිලියන 57 ක අලාභයක් සිදු කරන විට මේ ජනතා සංවිධාන විරෝධතා පැවැත්වුවා ද? රජයන් අතර ගනුදෙනුවක් ලෙස ඉතා සහන අනුපාතයකට ලබා ගත හැකි ණය වෙනුවට බිලියන ගණන් රටට පාඩු කරමින් අධික පොළියට වාණිජ ණය ලබා ගන්නා විට මේ ක්‍රියාකාරීන් අක්‍රීය වූයේ මන්ද? ඔබ විරැකියාවෙන්, ජීවන බරෙන්, දේශගුණ විපර්යාසවලින්, බීමට පිරිසිදු ජල බිඳක් නොමැති කමින්, නිසි අධ්‍යාපන අවස්ථාවක් නොමැති කමින්, දරිද්‍රතාවයෙන් පීඩා විඳිද්දී ඒ දුක මේ ක්‍රියාකාරිකයින් යැයි කියා ගන්නා පිරිසට නොදැනුණේ මන්ද? මේ සියල්ලේ අරමුණ කුමක් ද? තමන්ට පහසු වපසරියක හිඳිමින් වංක අරමුණුවලට කත් අදිමින් විදෙස් රටවලින් පහසුවෙන් වීසා ලබා ගැනීමට හෝ තමන්ට හෝ තම සංවිධානවල ඩොලර් යූරෝ අරමුණු ඉටු කර ගැනීමේ පරමාර්ථය නොවේ ද? ඔවුන් වටහා ගන්නට අසමත් වුණ පරම සත්‍යය නම්, බහුතර ශ්‍රී ලාංකිකයා මේ කපටි උපායෙන් රැවටිය නොහැකි බව ය. අප රටේ දේශපාලනඥයින් ජනතාවගෙන් සොරා කෑ මුදල් යොදවා ගෙන ලන්ඩන් වැනි නගරවල ජීවත් වන තම සහචරයින් හරහා වෙබ් අඩවිවලින් සාවද්‍ය පුවත් මෙන්ම අවලාද හා මඩ ප්‍රචාර ජනතාව වෙත ගෙන යාමට උත්සහ කරයි. මේ අවලාද සඳහා මෙරට සිට ලන්ඩනයට මුදල් යවන්නේ කවුරුන් ද? ඒවා ලබා ගන්නේ කවුරුන් ද යන්න පිළිබඳව ජනතාව නොදන්නවා නොවේ. ජනතාව සිතන තරම් පහසුවෙන් මුළා කළ නොහැක.