by Staff writer 12-01-2019 | 8:33 PM
COLOMBO (News 1st) - මේ වසර අවසන් වන විට මෙරට අධිවේගී මාර්ග පද්ධතියට තවත් කිලෝමීටර් 145ක් එක්වීමට නියමිත ය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ලෙස සැලකෙන මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 96කින් යුක්ත කොටස මේ වසරේ අගෝස්තු මාසයේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.
2015 ජුලි මාසයේ ආරමිභ කළ මෙම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කිලෝමීටර් 30කින් යුක්ත මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස ලබන ජුලි මාසයේ ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ.
චීන සමාගම් තුනක් විසින් ඉදිකිරීම් සිදු කරන මෙම අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා ප්‍රධාන පිවිසුම් 8කින් සමන්විත ය.
එහි ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් බිලියන 250කට අධික ය.
එමෙන් ම අධිවේගී මාර්ග පද්ධතියේ කොළඹ පිටත වටරවුම් මාර්ග පද්ධතිය ද මේ වසරේ ඉදිකර අවසන් කිරීමට නියමිත ය.
එහි අවසන් අධියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.63ක කොටස එළැඹෙන ජුනි මාසයේ අවසන් කිරීමට නියමිත අතර එහි වැඩ ආරම්භ කෙරුණේ, 2016 ජනවාරි මාසයේදී ය.
මෙම පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීමෙන් පසු දක්ෂිණ අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ග පද්ධතිය එකට යා වෙනු ඇති.
එමෙන් ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම ද ඒ අනුව ඉදිකර අවසන් කිරීමට නියමිත ය.
එහි ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් බිලියන 66.7කි.
මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40ක කොටසේ ඉදිකිරීම් ද මේ වසරේ දෙසැම්බර් අවසන් කිරීමට නියමිත ය.
දේශීය සමාගම් 15ක් විසින් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල රුපියල් බිලියන 140කි.
2016 නොවැම්බර් මාසයේ ආරමිභ කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස මෙලෙස මේ වසර අවසානයේ නිම කළ ද එහි පළමු අදියරේ නිමාවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
මේ අතර මාතර සිට හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු කරන ඉදිකිරීම් හේතුවෙන් හම්බන්තොට සූරියවැව 550 යාය ප්‍රදේශවාසීන් අපහසුතාවට පත්ව ඇති බව අපි ඊයේ අනාවරණය කළෙමු.
එම ජනතාවට පෙබරවාරි මස 28 වන දාට පෙර වන්දි ලබා දෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළේ ය.