මුහුණු ආවරණය කළ පුද්ගලයන් සැබෑවටම කවු ද?

by Staff writer 11-01-2019 | 9:29 PM

COLOMBO (News 1st) - මුහුණු ආවරණය කර ගනිමින් පැමිණි සිවිල් සංවිධාන ලෙස හඳුන්වාගන්නා පිරිසක් ඊයේ මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවල නිරත විය.

ඔවුන් පෙනී සිටියේ ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, දිදුලන හදවත ඇතුළු විවිධ නම්වලින් හඳුන්වාගත් සංවිධාන ලෙසයි. මාධ්‍ය ක්‍රියා කළ යුතු ආකාරය ගැන උපදෙස්දීමට පැමිණි මේ කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කළ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ඇතිකරන්නැයි ඉල්ලා විවිධ ස්ථානවල මේ අයුරින්ම විරෝධතා පැවැත් වූහ. පසුගිය නොවැම්බර් 28 වැනි දා මහ වැස්සේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ මෙලෙස විරෝධය දැක්වූයේ ශ්‍රී ලංකාවේ කාන්තාවෝ ලෙස හඳුන්වාගත් කණ්ඩායමයි. අනතුරුව නොවැම්බර් 29 වැනි දා දිදුලන හදවත යැයි කියු පිරිසක් වෙස් මුහුණු පැළැඳ නැවත ජනාධිපති කාර්යාලය ඉදිපිට විරෝධතාවක නිරත විය. ඊයේ මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධය පළ කළ බොහෝ දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වූ සත්‍යග්‍රහයේ ද දැකගත හැකිවිණි. වික්‍රමසිංහ මහතා නැවත පත් කළ වහාම ඔවුන් එම සත්‍යග්‍රහය අත්හැරියහ. මේ පිරිස මාධ්‍ය ආයතන ඉදිරිපිටට පැමිණියේ කලු මාධ්‍ය යැයි කියමින් කිහිප දෙනෙකුම මාධ්‍යයට අනතුරු ඇඟවීම් කර ඇති පසුබිමකයි. ඔවුන් පිටුපස සිටින්නේ කවු ද? ඔවුන් ඉටුකරන්නේ කාගේ වූවමනාවක් ද? මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ. ශ්‍රී රංගා මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මුහුණු ආවරණය කරගනිමින් සිවිල් සංවිධාන ලෙස හඳුන්වාගෙන මෙලෙස හැසිරීම තරයේ හෙළා දකින බවයි. අභියෝග රැසකට මුහුණදෙමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් මාධ්‍ය නොබියට කටයුතු කළ කාලයේ මේ පිරිස සිටියේ කොහේ සිටියේදැයි ඔහු ප්‍රශ්න කරයි. ඔහු විමසා සිටින්නේ ලසන්ත වික්‍රමතුංග, ටී. ශිවරාම්, එම්. නිමලරාජන්, අයි. නඩේසන් වැනි මාධ්‍යවේදීන් මරා දැමීමට සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට මෙම ඊනියා සිවිල් සංවිධාන මෙතරම් කාලයක් හඬ නගන්නට අසමත්වූයේ ඇයි ද යන්නයි.