නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවළියට අදාළව අන්තර්වාර වාර්තාවක් පාර්ලිමේන්තුවට

by Staff writer 11-01-2019 | 9:20 PM

COLOMBO (News 1st) - නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවළියට අදාළව අන්තර්වාර වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස යළි ත් රැස්විණි. ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම සඳහා මේ වනවිට මෙහෙයුම් කමිටුවක් සහ අනුකමිටු 6 ක් පත් කර තිබේ. අද ඉදිරිපත් කළේ, එම අනුකමිටු ලබාදුන් වාර්තා සහ මෙහෙයුම් කමිටුව පත්කළ තත්කාර්යය කමිටුවේ අනුකමිටුවේ වාර්තාව ද පදනම් කරගනිමින් මෙහෙයුම් කමිටුව වෙනුවෙන් විද්වත් මණ්ඩලය විසින් සම්පාදනය කළ වාර්තාවයි. සූරි රත්නපාල, ඔස්ටින් පුල්ලේ, ඒ. එම්. නවරත්න බණ්ඩාර, සෙල්වකුමාරන්, කුමිතා ගුණරත්න, කපිල පෙරේරා, සුරේන් ප්‍රනාන්දු, හිරාන් අන්කටෙල්, අශෝක ගුණවර්ධන සහ චමින්ද්‍රි සපරමාදු යන මහත්ම මහත්මීන් මෙම විද්වත් කමිටුවට පත් කර තිබුණි. අද ඉදිරිපත් කළ ලියවිල්ලට අනුව ව්‍යවස්ථාදායකයක පාර්ලිමේන්තුව සහ දෙවන මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකින් සමන්විත වේ. වසර 5 ක නිල කාලයක් සඳහා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 233 ක් පත්වන අතර දෙවන මන්ත්‍රී මණ්ඩලයට පත්වන සංඛ්‍යාව 55 කි. මැතිවරණ කොට්ඨාසවලින් සෘජුවම මන්ත්‍රී ධූර 140 ක් තෝරාපත්කර ගැනෙන අතර තව ත් 76 දෙනෙකු තෝරා පත්කර ගැනීමේ බලය පළාත් සභාවලට හිමිවනු ඇත. විධායක ජනාධිපති බලතළ අහෝසිවන වන අතර රජයේ සහ සන්නද්ධ හමුදාවල ප්‍රධානියා වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුවේ. ජනාධිපතිවරයා පත්කිරීමේ බලය පාර්ලිමේන්තුවට හිමිවන අතර පාර්ලිමේන්තුවේ සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයේ හරි අඩකට අඩු නොවන ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැණෙනු ඇත. ධූරය භාරගැනීමෙන් පසුව ජනාධිපතිවරයාට පක්ෂ දේශපාලනයේ නිරතවිය නොහැකි අතර ස්වාධීනවිය යුතුයි. මූලික අයිතිවාසිකම් සහ රිට් ආඥා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණය හමුවට යාමට හැකි බව අද ඉදිරිපත් වූ ලියවිල්ලේ සඳහන් විය. පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක්. සාමූහිකව පාර්ලිමේන්තුවට වගකිව යුතු කැබිනට් මණ්ඩලයක් පත්කරගත යුතු අතර ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්නා තැනැත්තා අගමැතිවරයා ලෙස පත්කළ යුතුයි. යම් පක්ෂයක් පාර්ලිමේන්තුවේ අඩකට වඩා ආසන හිමිකර ගැනීම, මැතිවරණය ඉදිරිපත්වන අවස්ථාවේදීම අගමැති අපේක්ෂකයා නම් කිරීම සහ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අවස්ථාවේ නැවත පාර්ලිමේන්තුවේ බහුතරය විමසීමට අවශ්‍ය වන්නේ නැත. ඊළඟ මැතිවරණය පවත්වා නව අගමැතිවරයෙකු පත්වන තෙක් එලෙස පත්වන අගමැතිවරයාට ධූරය දැරිය හැකියි. කැබිනට් මණ්ඩලය තිහ නොඉක්මවිය යුතු අතර අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියාකළ යුතු වනු ඇති. කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව, අමාත්‍යාංශ ප්‍රමාණය, විෂයයන් සහ කාර්යය නියම කිරීමේ බලය ඇත්තේ අග්‍රාමාත්‍යවරයාටයි. පළාත් සභා සම්බන්ධයෙන් සඳහන් වන කොටසේ දැක්වෙන්නේ පළාත් තුළ පවත්වන ජනමත විචාරණයකින් පසුව පාර්ලිමේන්තුවේ අනුමත වන නීතියකින් පළාත් දෙකකට හෝ තුනකට එක් පරිපාලන ඒකකයක් බවට පත්විය හැකි බවයි. මීට අමතරව තව ත් කරුණු ගණනාවක් මෙම ලියවිල්ලට ඇතුළත්ව ඇති අතර දේශපාලන පක්ෂ සහ විද්වත් කමිටුවේ ලියවිලි රැසක් ද එහි ඇතුළත් වේ.