20 යි 20 තරගයත් ශ්‍රී ලංකාව පරදි

නවසීලන්තය ඉදිරියේ 20 යි 20 ලංකාව පරදි

by Hashini De Mel 11-01-2019 | 4:21 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය නවසීලන්තය අද ලකුණු 35 කින් ජය ගත්තේ ය.

ලකුණු 180 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 144 ක් පමණි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 179 ක්. නවසීලන්ත මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 55 කදීයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩග් බ්‍රේස්වෙල් ලකුණු 44 යි. ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ, නිරෝෂන් දික්වැල්ල සමගින් සධීර සමරවික්‍රම. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 11 ක්. සදීර ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 23 කට දැවී ගියේ ය. තිසර පෙරේරා ලකුණු 43 ක් රැස් කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්තයේදී සහභාගී වූ ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පරාජව වූ අතර එක්දින තරගාවලිය තරග 3ට 0ක් ලෙස පරාජය විය. ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට තරගවදිනු ලබන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි. ඒ, ඔස්ට්‍රේලියාවේදී ය. ඊට ටෙස්ට් තරග 2 ක් ඇතුළත්. ටෙස්ට් තරග දෙකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ජනවාරි මස 17 වන දා සිට 19 වන දා දක්වා පුහුණු තරගයකට සහභාගී වන අතර ජනවාරි 24 වන දා බ්‍රිස්බේන්හිදී පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිත ය. දෙවන ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, එළැඹෙන පෙබරවාරි මස පළමු වන දා ය.