by Staff writer 11-01-2019 | 2:13 PM
COLOMBO (News 1st) - දෙහිවලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා බංග්ලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් ධනපාල මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව මේ වන විට නිල වශයෙන් දැනුම් දී ඇති බව ය.
අදාළ කණ්ඩායම දිවයිනට පැමිණෙන්නේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීම හේතුවෙනි.
එලෙස පැමිණෙන කණ්ඩායම අතරට සාක් රටවල මත්ද්‍රව්‍ය වැරදි නිරීක්ෂණයට පත් කළ කමිටු සාමාජිකයන් ද අයත් ය.
හෙරොයින් කිලෝග්‍රෑම් 278ක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට ගැනුණේ පසුගිය 31 වන දා ය.
රුපියල් මිලියන 3000කට අධික වටිනාකමකින් යුත් එම හෙරොයින් තොගය පසුගිය වසරේ මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය වේ.
සිද්ධියට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකාරිය මේ වන විට බංග්ලාදේශයේ සැඟව සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
අදාළ සැකකාරියගේ මෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනාගේ නිවෙස් එරට පොලීසිය පරීක්ෂා කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.