මධ්‍යම අධිවේගී මාර්ගය ගැන ජපානයේ ශ්‍රී ලංකා තානාපති කී දේ

by Staff writer 11-01-2019 | 9:52 PM

COLOMBO (News 1st) - ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියමා මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය.

මහ නා හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ තානාපතිවරයා මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව අදහස් පළ කළේ ය. ජපානයේ ශ්‍රී ලංකා තානාපති, අකිරා සුගියමා
මේක ඇත්තටම ආධාරයක් නොවෙයි. මේක පෞද්ගලික අංශය මූලික කරගත් ව්‍යාපෘතියක්. ජපාන පෞද්ගලික සමාගමක් ටෙන්ඩර් පටිපාටි යටතේ ලබාගත් ව්‍යාපෘතියක්. මේ තුළ ජපාන රජයේ මුදල් නැහැ. මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය සතුයි. නමුත් ජපාන රජය මෙම ව්‍යාපෘතිය පිළිබඳව පූර්ණ අවධානය සහ අධික්ෂණය යොමු කරනවා
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර සම්බන්ධයෙන් නියමිත ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු සිදු ව ඇති ආකාරය පිළිබඳව නිව්ස්ෆස්ට් දිගින් දිගටම අනාවරණ කළේ ය. අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික ණයක් ජපානයේ වාණිජ බැංකුවකින් ලබාගෙන ඇති බව ද අප පෙන්වා දුන්නේ ය. අප වාර්තා කළේ, මෙය ආණ්ඩු දෙකක් මුල් වූ ව්‍යාපෘතියක් නොවන බවයි. ඒ අනුව එය ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේදවලට මෙම ව්‍යාපෘතිය යටත් විය යුතු බවද අප පෙන්වා දුන්නෙමු. එවක විෂය භාර අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලැබෙන ආකාරය පිළිබඳව නිසි ලෙස කරුණු අනාවරණය නොකර මෙය ආණ්ඩු දෙකක් අතර සිදුවන්නක් බවට හුවා දැක්වීමට කටයුතු කළේ ය. අග්‍රාමාත්‍යවරයා සිටියේ ද එම ස්ථාවරයේයි. දැන් ජපාන රජයේ නිල නියෝජිතයා වන තානාපතිවරයා ද තහවුරු කර සිටින්නේ මෙය වාණිජ ණයක් බවටයි. එමෙන්ම ආණ්ඩු දෙකක් අතර නොව පෞද්ගලික අංශය විසින් සිදු කරන ව්‍යාපෘතියක් බවයි.