ප්‍රදේශ රැසක අද හා හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

දිවයිනේ ප්‍රදේශ රැසක අද හා හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

by Staff writer 10-01-2019 | 8:50 AM

COLOMBO (News 1st) - තෝරාගත් අවදානම් කලාප කිහිපයක අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.

බස්නාහිර පළාත, යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති. එම ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිරී යාමේ වැඩි අවදානමක් සහිත වෛද්‍ය නිලධාරී කොට්ඨාස 40 ක මදුරු මර්දන වැඩසටහන් අද හා හෙට ක්‍රියාත්මක කරන බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය. වැඩපිළිවෙළ යටතේ පාසල්, වැඩබිම්, කර්මාන්තශාලා, ආගමික ස්ථාන ඇතුළු පරිශ්‍ර රැසක මෙහෙයුම් සිදුකර මදුරුවන් බෝවිය හැකි පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා ය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වසරේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 600 ක් වාර්තා වී ඇති බවයි.