රට තුන්බියකට ගොදුරුව ඇතැයි විපක්ෂ නායක කියයි

රට තුන්බියකට ගොදුරුව ඇතැයි විපක්ෂ නායක කියයි

by Sagarika Chathumali 09-01-2019 | 10:29 PM
COLOMBO (News 1st) : රට මේ වන විට තුන්බියකට ගොදුරුවී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් අද ප්‍රකාශ කළේ ය. 2014 දෙසැම්බර් මාසය අවසානය දක්වා ගත වූ වසර 60 කට අධික කාලය තුළ විවිධ ආණ්ඩු ලබාගෙන ගෙවීමට ඉතිරිවී තිබූ මුලු ණය ප්‍රමාණය මෙන් 50% කට වැඩි මුදලක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගත වූ වසර 4 තුල ලබාගෙන ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ණය ගෙවීමට පමණක් මේවා ලබා ගත්තේ නම් 2015 පසුව සමස්ත ණය ප්‍රමාණය වැඩිවිය නොහැකි බවයි. නමුත් කලින් ආණ්ඩු ගත් ණය එලෙසම තිබියදී මුළු ණය ප්‍රමාණය පසුගිය අවුරුදු 4 තුළ 50% කින් වැඩිවී ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහුගේ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ යුද්ධය, ලෝක තෙල්මිල ගණන් ඉහළ යාම ඇතුළු අභියෝග රැසකට මුහුණදී තිබූ තම අවුරුදු 9 ක පාලන කාලය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවී තිබුණේ, රුපියල් 28 කින් පමණක් බවයි. නමුත් ගතවූ අවුරුදු 4 ක කාලය තුළ අප මුදල් ඒකකය රුපියල් 53 කින් අවප්‍රමාණයවී ඇති බවත් 7.4% ක්වූ ආර්ථික වර්ධන වේගට 3% කටත් පහළ තැනකට වැටී ඇති බවත් එහි සඳහන් ය. ඊළග සතියේ ඊළඟ මාසයේ ආර්ථිකයට කුමක්වේ දැයි නොදන්නා තත්ත්වයක අප සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා පාලන තන්ත්‍රය බිදවැටීමේ බියකටද රට මුහුණදී සිටින බව පෙන්වාදෙන ඔහු සඳහන් කරන්නේ අවශ්‍ය අවස්ථාවල ජනතාව ඉදිරියට යාමේ ක්‍රමවේදය මේ මගින් අහුරා ඇති බවයි. මේ නිසා ආණ්ඩු පක්ෂයට තමන්ගේම මන්ත්‍රීවරුන් හා සභාග දේශපාලන පක්ෂ රාමුවක් තුල රදවා ගැනීම අපහසුවී ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු පෙන්වා දෙන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත රට බෙදන ව්‍යවස්ථාව රට ඉදිරියේ ඇති තවත් බියක් බවයි. මේ කෙටුම්පත් සකස් කළ පාර්ශ්වයම සකස් කළ පළාත් පාලන ඡන්ද ක්‍රමය මේ වනවිට මොනම ඡන්දයකටවත් සුදුසු නොවන බව එය සකස් කළ අයම පවසද්දී අලුත් ව්‍යවස්ථාව ඔවුන් විසින් සකස් කළ හොත් රටක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැත්ම අවසන්වනු ඇතැයි රාජපක්ෂ මහතා පවසයි. මෙම තුන්බියෙන් රට ගලවාගත හැක්කේ තම නායකත්වයෙන් යුත් විපක්ෂ දේශපාලන සන්ධානයට පමණක් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.