රටින් පිටවූ යානයේ සිටි සිටි විදේශිකයින් කවුද?

රටින් පිටව ගිය යානයේ සිටි සිටි විදේශිකයින් කවුරුන්ද?

by Staff writer 09-01-2019 | 9:13 PM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කදවුරට පෞද්ගලික ගුවන් යානයකින් පැමිණ පිටව ගිය පිරිස අයෝජකයින් පිරිසක් ද වංචනිකයින් පිරිසක් ද ? පසුගිය ඉරිදා ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා කඳවුරට ගල්ෆ් ස්ට්‍රීම් 550 වර්ගයේ පෞද්ගලික ගුවන් යානයක් පැමිණ තිබුණේ, සිංගප්පූරු, චීන හා හොංකොං ජාතික ආයෝජකයින් යැයි කියන පිරිසක් ද සමගයි. හිටපු නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා සහ ඔහුගේ පුත්‍රයා මේ කණ්ඩායම ගෙන්වීම සඳහා මැදිහත්වී තිබිණ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මතුව ඇති පැහැදිලි නොවූ කාරණා රැසක් ඇති හෙයින් අප මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ,ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළේ ය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, මෙම ගුවන් යානයෙන් පැමිණි පිරිසම ආපසු මෙරටින් පිටවී යා යුතු බවයි. නමුත් ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, කාර්ය මණ්ඩලයේ තිදෙනෙක් සමග මගීන් 6 දෙනෙකු ජනවාරී 3 වෙනිදා අදාළ ගුවන් යානයෙන් මෙරට පැමිණි නමුත් 5 වෙනිදා මෙරටින් පිටවී යන්නේ මගීන් 5 දෙනෙකු පමණක් බවයි. ඒ අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ පුත්‍රයා මෙම ගුවන් යානයෙන් දිවයිනෙන් පැමිණිය ද යානය පිටව ගොස් ඇත්තේ ඔහු නොමැතිවයි. මෙම පිරිස දින දෙකක් මෙම පිරිස ත්‍රීකුණාමලයේ රැඳී සිට ඇති බව ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කළේ ය. ආයෝජන කටයුත්තක් වෙනුවෙන් අදාළ මගීන් පිරිස සිංගප්පූරුවේ සිට මෙරට පැමිණෙන බවත් ඒ සඳහා අවසර ලබාදෙන්නැයි නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයා විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබූ බවත් ඒ අනුව එම අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශයෙන් ඒ පිළිබඳ අවසර ලබාදීමට ඇති හැකියාව පිළිබඳව විමසූ බවත් ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. මෙම ගුවන් ගමන සඳහා අවසරය ඉල්ලා ඇත්තේ කලකට පෙර බවත් අදාළ අවසරය ලබාදීමට ඇති හැකියාව පිළිබඳ තීරණය කිරීමට කලක් ගත වූ බවත් එම අමාත්‍යංශය පවසයි. මෙම විශේෂ අවසර ලබාදීමට කල් ගතවූ බව එම නිලධාරියා ප්‍රකාශ කරන්නේ එය එක්වරම ලබාදිය හැකි පහසු තීන්දුවක් නොව විවිධ සංකූලතා ගණනාවක් යටතේ ගන්නට සිදුවන වෙනස් ආකරයක තීරණයක් නිසා නොවේ ද? එම නිලධාරියාට අනුව මෙම ගමන පිළිබඳව සමස්ත වගකීම පැවරෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයටයි. ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරට පැමිණ පිටව ගිය පෞද්ගලික ගුවන් යානය පිළිබඳව යම් ගැටලුවක් තිබේ ද? යන්න පිළිබඳව සොයා බැලීමක් සිදුකරන බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය. ගුවන් යානයක හඳුනාගැනීමේ අංකය වන මෙම කේතය අනුව මෙම ගුවන් යානය පිළිබඳව කරුණු සොයා බැලුවෙමු. ඒ අනුව මෙම ගුවන් යානයේ හිමිකරු වන්නේ හොංකොංහි සෙන්චරි ඕෂන් නම් සමාගමකි. එහි අපූරුම කරුණ වන්නේ එම සමාගම කුප්‍රකට මුදල් සැඟවීමේ සහ බදු වංචා කිරීමේ නිරතවූ ආයතන පිළිබඳ තොරුතරු ඇතුළත්වූ පැනමා ලේඛන ගොන්නේහි නම සඳහන් සමාගමක් වීමයි. මෙම සමාගමේ හවුල්කරුවන් ලෙස චෝ හුංග් පෝල් සහ ජෝසෆ් ලාඕ ලු එන්ග් හොංග් යන නම් පැනමා ලේඛනවල දැක්වේ. බලධාරින් පවසන ආකාරයට මෙය අයෝජකයින් පිරිසකගේ ආගමනයක් නම්, ගුවන් යානය අයිති සමාගම සහ එහි කොටස් කරුවන් පැනමා ලේඛනහි නම් සඳහන් වංචාකරුවන් නම්, මෙම ගුවන් යානයේ පැමිණි විදේශිකයින් කවුරුන් ද , ඔවුන් මෙලෙස නම් සඳහන් වංචනිකයින් ද යන්න පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව හෙළිකළ යුතුයි.   https://www.youtube.com/watch?v=eFqyKH0am4s