රටින් තුරන් කළ මැලේරියාව යළි හිස ඔසවයි ද?

රටින් තුරන් කළ මැලේරියාව යළි හිස ඔසවයි ද?

by Staff writer 09-01-2019 | 6:28 PM
COLOMBO (News 1st) : කාලයක් වසංගතයක්ව පැවති මැලේරියාව 2016 වසරේදී මුළුමනින්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කෙරිණ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය එම සහතිකය නිකුත් කර වසර දෙකකට පසු මේ වනවිට යළි මැලේරියාව හිස එසවීමට පටන් ගෙන තිබේ. මැලේරියා රෝගය වැළඳුණු පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව පසුගිය දා වාර්තා වුණේ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙනි. ඉන් එක් අයෙකු, සියඹලාණ්ඩුව ඇතිමලේ පෞද්ගලික සීනි කර්මාන්ත ශාලාවේ ඉදිකෙරෙමින් පවතින වැඩබිමේ සේවයට පැමිණි ඉන්දිය ජාතිකයෙකි. 45 හැවිරිදි මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අනෙක් පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේ ම සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි. වෛද්‍යවරුන් සැකකරන්නේ ඔහුට අදාළ ඉන්දීය ජාතිකයා මගින් මැලේරියා රෝගය වැළඳෙන්නට ඇති බවයි. ඉන්දියාවේ සිට පැමිණි කම්කරුවන්ගෙන් මැලේරියාව යළි ව්‍යාප්ත වී ඇති බවට ප්‍රදේශයේ ජනතාව ද චෝදනා කරයි. ​සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ මැලේරියා රෝගින් දෙදෙනාගේ රුධිර සාම්පල සිංගප්පූරු ජාතික පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි, ජාතික මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය. ඒ, අදාළ ශ්‍රී ලාංකිකයාට රෝගය වැළඳී ඇත්තේ මෙරටදී ද යන්න තහවුරු කරගැනීම සඳහායි. පුද්ගලයෙකු මැලේරියා රෝගයට ගොදුරු වන්නේ, රෝග වාහක ඇනෝෆිලස් මදුරුවෙකු දෂ්ඨ කිරීමත් සමග එම මදුරුවා තුළ සිටින පරපෝෂිතයා මිනිස් සිරුරට ඇතුළුවීමෙනි. නිරෝගී පුද්ගලයෙකුට මදුරුවා දෂ්ඨ කිරීමෙන් මෙන්ම මැලේරියා රෝගියෙකුට ආසාදිත නොවන මදුරුවෙකු දෂ්ඨ කිරීමෙන් පරපෝෂිතයා ඇතුළු වීමත් සමග මැලේරියා රෝගය පැතිර යා හැකියි. මැලේරියාව තුරන් කළ 2016 වසරේ මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 36කි. 2017 වසරේ වාර්තා වූ රෝගීන් 57 දෙනා සහ 2018 වසරේ වාර්තා වූ රෝගීන් 48 දෙනා අතරට, විදේශීය රටවල සංචාරය කර පැමිණි ලාංකිකයෝ මෙන්ම විදේශිකයෝ ද ඇතුළත් වුහ. වාර්ෂිකව ලොව පූරා වාර්තා වන මැලේරියාව වැළඳීමෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව ව ලක්ෂ 4 ඉක්මවයි.