ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

තරුණයින් පැහැර ගැනීම: විමර්ශන බොහෝ දුරට අවසන් බව CIDය අධිකරණයට දැනුම් දෙයි

by Staff writer 09-01-2019 | 3:06 PM
COLOMBO (News 1st) : කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන බොහෝ දුරට අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. සෙසු විමර්ශන ද කඩිනමින් අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර නඩුවේ සැකකරුවන් වන කොමදෝරු ඩී.කේ.පී දසානායක ඇතුළු සැකකරුවන් 12 දෙනාට, එරෙහිව අධිචෝදනා ගොනුකර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ලබන 23 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද දින සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරිණ. එහිදී පැහැරගැනීමට ලක් වූ තරුණයෙකු වන ජෙගන් නමැත්තාගේ මව සහ සහෝදරියක් නඩුවේ 12 වන සැකකරු වන නායක නැවි උපුල් චමින්ද නමැත්තා හඳුනා ගත්හ. ඒ අනුව ලබන 23 වන දා මොහු නැවත හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේ ය. 2008 වසරේ කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අංඩගුවට ගනු ලැබිණ. මේ අතර අද දින හඳුනා ගනු ලැබු සැකකාර නාවික නිලධාරී වන උපුල් චමින්ද නමැත්තා අන්නච්චි නමින් පෙනී සිට දුරකථන ඇමතුම් ලබා දී පැහැර ගත් තමන්ගේ දරුවා ඇතුළු තරුණයන් නිදහස් කිරීම සඳහා කප්පම් ලබා ගැනීමට පැමිණි පුද්ගලයා ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවෝ දෙදෙනා එහිදි හඳුනා ගත්හ.