අර්බුද මැද ජනපති ට්‍රම්ප් අද ජාතිය අමතයි

අමෙරිකානු ආණ්ඩුවේ අර්බුද මැද ජනපති ට්‍රම්ප් අද ජාතිය අමතයි

by Staff writer 09-01-2019 | 7:17 AM
(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරට වේලාවෙන් අද පෙරවරු 7.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ. ඒ, අනවසර සංක්‍රමණික අර්බුදය විසඳීමට නම් මෙක්සිකෝව අමෙරිකාවෙන් වෙන් කෙරෙන පවුර ඉදිකිරීම අත්‍යවශ්‍ය වන බවට තර්ක ඉදිරිපත් කරමිනි. ජනාධිපති ට්‍රම්ප් එලෙස ජාතිය අමතන්නේ, අමෙරිකානු ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණ මුල් කර ගනිමින් බව ද එරට උප ජනාධිපති මයික් පෙන්ස් සඳහන් කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා හෙට මෙක්සිකෝ - අමෙරිකානු දේශසීමාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිත ය. අමෙරිකාව මෙක්සිකෝවෙන් වෙන් කෙරෙන එම පවුර ඉදිකිරීමට අයවැයෙන් මුදල් වෙන් කිරීම ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කිරීමත් සමග අමෙරිකානු රජය අර්ධ වශයෙන් අක්‍රීය තත්ත්වයකට පත් විය. එම අර්බුදයට අදට දින 18කි. පවුර ඉදිකිරීමට අමෙරිකානු ඩොලර් බිලියන 5ක් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡා වට කිහිපයක්ම අසාර්ථක විය. රජය අර්ධ වශයෙන් අක්‍රීය වීම හේතුවෙන් අමෙරිකාවේ ෆෙඩරල් සේවකයන් ලක්ෂ 8කට ඉකුත් දෙසැම්බර් 22 වන දා සිට වැටුප් හිමිව නොමැත.