by Staff writer 08-01-2019 | 4:11 PM
COLOMBO (News 1st) - මේ වසරේ රජයේ සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470ක් බව මුදල් අමාත්‍යංශය පවසයි.
එම වියදම් ඇස්තමේන්තුවට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි විය.
රජයේ ලේඛනය සම්මත කර ගැනීමේ පළමු පියවර වන්නේ, වසරේ රාජ්‍ය වියදම් ඇස්තමේන්තු හා ණය ගැනීමේ සීමා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමයි.
ඒ අනුව ඊයේ ඉදිරිපත් වූ විසර්ජන පනත් කෙටුම්පතෙන් රාජ්‍ය වියදමෙන් රුපියල් බිලියන 2,200ක්ම වෙන් කර ඇත්තේ ණය ගෙවීම් වෙනුවෙනි.
මෙය, ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් වසරක ණය ගෙවීම සඳහා වැය කිරීමට සිදුවන විශාලම මුදල බව මුදල් අමාත්‍යංශය පවසයි.
2019දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් දක්වා ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කයයි.
ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් වනු ඇති බවට මුදල් අමාත්‍යංශය ඇස්තමේන්තු කර තිබේ.
මෙම වියදම් ඇස්තමේන්තු ඇතුළත් අයවැය පළමු වර කියවීම හෙවත් 2019 විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මස 05 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.