ශ්‍රී ලංකාවට අඛණ්ඩව සිව්වන වරටත් එක්දින පරාජයක්

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සිව්වන වරටත් එක්දින පරාජයක්

by Staff writer 08-01-2019 | 1:03 PM
COLOMBO (News 1st) : අඛණ්ඩව සිව්වන වරටත් එක්දින තරගාවලියක අමිහිරි පරාජය විඳීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද සිදුවිය. ඒ තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා -නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කන්ඩායම සමත් වීමත් සමගයි.. අද පැවති තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ ලකුණු 115 කිනි. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය. අද තරගයේදී දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට ධනංජය ද සිල්වා, දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවා තිබිම විශේෂත්වයකි. කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසනායේ කඩුලු 4 ක් දැවී ලකුණු 364 ක් රැස් කළේ ය. එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ, නෙල්සන් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ ලකුණු 21 ක් රැස් කළ නායක කේන් විලියම්සන් සිය එක්දින දිවියේ 35 වන අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කල ලකුණූ සංඛ්‍යාව 55කි. නායක කේන් විලයම්සන් හා රෝස් ටේලර් නවසීලන්ත ඉණිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණූ 116 ක සබඳතාවක් ගොඩනැගීය. ශ්‍රී ලංකා කණ්ඩායම නායක ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභින් අතර 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර වැඩිම කඩුලුලාභි වේග පන්දු යවන්නන් අතර 7 වන ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණියේ ය. නවසීලන්ත ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ රෝස් ටේලර් සිය 20 වන එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 131 කදී හතරේ පහර 9 ක් හා හයේ පහර 4 ක් සමගින් ලකුණු 137 ක් රැස් කළේ ය. රෝස් ටේලර් හා හෙන්රි නිකොල්ස් නවසීලන්ත ඉණිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 154කි. එය වාර්තා අතරට එක්වුණේ, නවසීලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහිව ගොඩනැගු ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. නොදැවී කඩුල්ලේ රැඳ සිටි හෙන්රි නිකොල්ස් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 80 කදී රැස් කළ ලකුණු සංඛයාව 124කි. ඔහු වාර්තා අතරට එක්වුණේ, නවසීලන්තයට එරෙහිව 7 වන වේගවත් ශතකය රැස් කළ ක්‍රීඩකයා ලෙසයි. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 3 ක් දවා ගත්තේ ය. අනතුරුව ලකුණු 365 ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා ශ්‍රී ලංකා ඉණිම අරඹමින් පිටියට පිවිසියේ නිරෝෂන් දික්වැල්ල සහා ධනංජය ද සිල්වායි. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉණිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 66කි. ධනංජය ද සිල්වා ලකුණු 36 ක් රැස් කළේ ය. අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා හා නිරෝශන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉණිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක සබඳතාවක් ගොඩනැගු අතර නිරෝශන් දික්වැල්ල රැස් කළ ලකුණු සංඛ්‍යාව 46කි. කුසල් මෙන්ඩිස් අද ලකුණු රැස් කර ගැනීමට පෙර දුවද්දි දැවී ගියේ ය. දසුන් ශානකට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 2 ක් පමණි. අනතුරුව පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක හා තිසර පෙරේරා ශ්‍රී ලංකා ඉණිමේ හයවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 101 කි. තිසර පෙරේරා සිය එක්දින දිවියේ 10 වන අර්ධ ශතකය වාර්තා කරමින් අද ලකුණු 80 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා ඉණිමේ කඩුලු 6 ලකුණු 249 ක් තුළ බිඳ වැටී තිබූ මොහොතක අවසන් කඩුලු 4 බිඳ වැටුණේ, ශ්‍රී ලංකා ප්‍රධාන ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එක්වීමට පෙරයි. පන්දු යැවීමේදී ලොකී ෆර්ගසන් කඩුළූ 4 ක් හා ඉෂ් ෂෝදි කඩුළු 3 ක් දවා ගත්තේ ය