ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී අදට වසර 10යි

by Staff writer 08-01-2019 | 5:13 PM
COLOMBO (News 1st) - දස වසරකට පෙර අද වැනි දිනක අපේ රටේ මාධ්‍ය නිදහසට එල්ල වූ ප්‍රහාරයක අඳුරු මතකය යළි අවධි කිරීමක් මේ... 2009 ජනවාරි 8 වන දා හිරු උදාවී හෝරා කිහිපයකින් වාර්තා වූ අනපේක්ෂිත පුවතින් කියැවුණේ, සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ය. නිවසේ සිට කාර්යාලයට යමින් සිටි වික්‍රමතුංග මහතා ලුහුබැඳ ආ සාහසිකයින් ඔහුට ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබිණි. විනාඩි කිහිපයක් තුළ ලසන්ත වික්‍රමතුංග මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කළත් ඔහුගේ ජීවිතය නැවත ලබා දෙන්නට නොහැකි වී තිබිණි. වංචාව, දූෂණය ගැන කිසිවෙකුටත් කිසිවකටත් බිය නොවූ ලසන්ත වික්‍රමතුංගගේ පෑන ඒ වන විටත් බොහෝ දෙනෙකුට අභියෝගයක්ව තිබිණි. ඒ හඬ නිහඬ කළවුන් නීතිය ඉදිරියට ගෙන එන්නැයි හඬ නැගූ සියලු දෙනා ඉල්ලා සිටි යුක්තිය තවමත් ඉටු කිරීමට නොහැකිව තිබේ. වෙඩි ප්‍රහාරයකින් ඝාතනය සිදු කළ බව ප්‍රකාශ කළත් මෑතකදී සිරුර යළි ගොඩගෙන සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය වූයේ, තියුණු ආයුධයකින් ඇණ වික්‍රමතුංග මහතාගේ ජීවිතය අහිමි කර ඇති බව ය. ඝාතනය සිදු වී මාස කිහිපයක් ගත වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධකරුවන් පිළිබඳව තීරණාත්මක අනාවරණයක් කරමින් ජේසුදාසන් නමැත්තෙක් නුවරඑළියේදී අත්අඩංගුවට ගත්තේ ය. නමුත් මේ සැකකරු ද පසුව බන්ධනාගරය තුළදී මිය ගියේ, තවත් අභිරහසක් ඉතිරි කරමිනි. පසුව වික්‍රමතුංග මහතාගේ මරණය පිළිබඳ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා ඉවත් කළේ ය. සුප්‍රකට ජනවාරි 8 විප්ලවයේදී ප්‍රජාතන්ත්‍රවාදය උදාකරණ බවට ප්‍රතිඥා දුන් බොහෝ දෙනා පොරොන්දු වූයේ බලයට පත් වූ වහා ලසන්ත වික්‍රමතුංග ඝාතකයින් නීතිය හමුවට පමුණු වන බව ය. එහෙත් විමර්ශන යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කිරීමත්, කොළඹ කනත්තේ වළ දමා තිබූ ඔහුගේ දේහය යළි ගොඩ ගෙන පරීක්ෂණ කිරීමත් හැරෙන්නට සෘජුව සම්බන්ධ වූ කිසිවෙකුත් තවමත් අනාවරණය කිරීමට නොහැකි වී තිබේ. යුද හමුදාවේ හා පොලීසියේ කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගනු ලැබුවත් ඔවුන් කිසිවෙකුත් මේ මරණයට සෘජුව සම්බන්ධ බවට අධිකරණයේ කරුණු ඉදිරිපත් නොකෙරිණි. එදා මෙන්ම දශකයක් ගත වන අදත් කොළඹ කනත්තේ ලසන්ත වික්‍රමතුංග මහතා මිහිදන් කළ ස්ථානයේ සිට ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමට සිදුව තිබේ. මේ අතර සිය පියාණන්ගේ වියෝවෙන් 10 වසරකට පසු ලසන්තගේ දියණිය අද පුවත්පත්වල සංවේදී සටහනක් ඒක් කර තිබිණි. පියා අහිමිව ගෙවූ දස වසර තුළ තම පවුල මුහුණ දුන් කටුක අත්දැකීම් ඇය මෙහිදී සිහිපත් කර තිබුණේ, ඝාතකයින්ට ද හිතන්න බොහෝ දේ ඉතිරි කරමිනි. අවසානයේ අප සිහිපත් කරන්නේ එක් දෙයක් පමණි.
"සත්‍යයේ ගමන දීර්ඝ වුවත්, එහි අවසානය යුක්තියයි." - මාටින් ලූතර් කිං