රටේ ජාතික ආරක්ෂාව අභියෝගයට ලක් කරමින් නීතිය කැඩූ අය අත්අඩංගුවට නොගන්නේ ඇයි?

by Staff writer 08-01-2019 | 9:18 PM
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරට පැමිණ පිටව ගිය පෞද්ගලික ගුවන් යානයක් පිළිබඳව අපි පසුගිය දින කිහිපයේ කරුණු අනාවරණය කළෙමු. සිවිල් ගුවන් සේවා අධිකාරිය අද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබේ. පසුගිය ඉරිදා ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරට බොම්බාඩියර් වර්ගයේ පෞද්ගලික ගුවන් යානයක් පැමිණ තිබුණේ සිංගප්පූරු, චීන හා හොංකොං ජාතික ආයෝජකයින් යැයි කියන පිරිසක් ද සමග ය. හිටපු නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා සහ ඔහුගේ පුත්‍රයා මේ කණ්ඩායම ගෙන්වීම සඳහා මැදිහත් වී තිබිණි. අප පෙන්වා දුන්නේ, නියමිත ක්‍රියා පටිපාටියෙන් පිට අනුමත ගුවන්තොටුපොළක් නොවන ස්ථානයක සිට මේ යානය රටින් පිටව ගොස් ඇති බව ය. චීන වරායට පැමිණි මෙම යානය ජාත්‍යන්තර ගුවන් ගමනකදී සිදු කළ යුතු සියලු ම අවශ්‍යතා සපුරාලීමෙන් අනතුරුව පිටත්ව ගිය බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. මෙම ගමනට පෙර අදාළ ආයතනවලින් අවසර ලබා ගැනීම සිදුව තිබූ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රොහාන් මනුකුලසූරිය මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මනුකුලසූරිය මහතාගේ පැහැදිලි කිරීමේ ලිපිය අප අගය කරන අතර මෙම සිදුවීමේදී ඔබගේ ආයතනයේ කටයුතු නිසි පරිදි සිදුව ඇතැයි අපි ද විශ්වාස කරන්නෙමු. නමුත් අප පළ කළ වාර්තාව වෙනුවෙන් යළි යළිත් පෙනී සිටින අතර අප ප්‍රශ්න කරන්නේ, රටේ නීතිය උල්ලංඝනය කළ හැක්කේ කෙසේ ද යන්නයි. රටේ පවතින ආගමන විගමන නීතියේ 34 වගන්තියට අනුව අනුමත කළ පිටවීමේ තොටුපොළකින් හැර කිසිදු පුද්ගලයෙකුට රටින් විදේශගත විය නොහැකි ය. රටට ඇතුලු වීමේ හෝ පිට වීමේ තොටුපොළක් අනුමත කිරීමට විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කළ යුතු වේ. රටේ නීතියට අනුව චීන වරාය මෙවැනි අනුමත තොටුපොළක් නොවේ. මේ ගුවන්තොටුපොළ මෙම ගමනට පෙර අනුමත කළේ නම් විෂය භාර ඇමතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් තිබිය යුතු ය. එවැනි ගැසට් නිවේදනයක් ඇත්දැයි අපි ප්‍රශ්න කරන්නෙමු. අප විමසන්නේ, රටේ පවතින නීතියට පිටින් මෙවැනි ක්‍රියා සිදු වන්නේ මේ යානය තුළ නීති විරෝධී යමක් හෝ නීත්‍යානුකූල නොවන ලෙස ගමන් කළ කිසිවෙකු සිටි නිසා ද? ත්‍රිකුණාමලයේදී යානයෙන් පිටතට පැමිණි පිරිස එහි සාකච්ඡාවකට පවා සහභාගී වන අයුරු දර්ශනවල පැහැදිලිව සටහන්ව තිබේ. කටුනායක ගුවන්තොටුපොළින් චීන වරායට පැමිණි සියලු දෙනාම ආපසු ගියා ද? රේගු හා ආගමන විගමන නිශ්කාෂණ නිසි ලෙස ලබා ගෙන තිබුණා ද? අනුමතව නැති තොටුපොළකින් ගුවන්ගතව රටේ ගුවන් සීමාව හරහා පිටව ගිය මේ යානය සම්බන්ධයෙන් ගුවන් ආරක්ෂක ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකළේ ඇයි? රටේ ස්වෛරීත්වයට, ජාතික ආරක්ෂාවට මෙන්ම අභිමානයට ද මෙලෙස අභියෝග කිරීමට ඉඩ දී බලා සිටින්නන් කවුද? මේවාට සම්න්ධ වූවන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?