පරාජයන් පරාජය කර ඒවාගෙන් ජයග්‍රහණය කරන්න ඉදිරි කාලය තුළ කැප වෙනවා - ජනපති

by Staff writer 08-01-2019 | 8:32 PM
COLOMBO (News 1st) - මොරගහකන්ද, කළු ගඟ ජලාශ්‍රයේ ඉඩම් අහිමි වූවන් වෙනුවෙන් ඉදිවූ ලග්ගල හරිත නගරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් අද ජනතා අයිතියට පත් කෙරිණි. ඒ, අදට යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියේ සිව් වන සැමරුමට සමගාමීව ය. මොරගහකන්ද කළු ගඟ ජලාශ්‍ර ව්‍යාපෘතියෙන් අවතැන්වන පවුල් 3000කගේ සේවා අවශ්‍යතා සපුරමින් කළු ගඟ ජලාශ්‍රයට යට වන ලග්ගල නගරය වෙනුවට මෙම නව නගරය ඉදිකෙරිණි. ලග්ගල හරිත නගරය සැලසුම් කර තිබෙන්නේ, අනාගත අවශ්‍යතාවන් සලකා බලමින් හා නව නාගරික සංකල්පයක් වන උද්‍යාන නගර සංකල්පයට අනුව ය. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 4500කි. නගරයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 75ක වපසරියකින් යුක්ත ය. නව පොලිස් ස්ථානයක්, ඒකක කළමනාකරණ කාර්යාලයක්, සමුපකාර ගොඩනැගිලි සංකීර්ණයක්, නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, පොදු ක්‍රීඩාංගණයක්, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක්, මහජන පොළක් ඇතුළු තවත් ගොඩනැගිලි 112 කින් නගරය සමන්විත වේ. නගරය තුළ ස්ථාපිත කර ඇති රාජ්‍ය ආයතන සංඛ්‍යාව 26කි. නව නගරය විවෘත කිරීම සනිටුහන් කරමින් සමරුඵලකය විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව නව නගර භූමියේ රුක් රෝපණයකට ද එක්විය. කළු ගඟ ජලාශ්‍රයට පැමිණි ජනාධිපතිතුමා එහි වැඩ කටයුතු අවසන් කිරීම සංකේතවත් කරමින් එහි සමරුඵලයක් ද විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිතුමා ඇතුළු පිරිස ජලාශ්‍රය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට ද එක්වූහ. අනතුරුව ලග්ගල නව නගරයට පැමිණි ජනාධිපතිතුමා අලුතින් ඉදිකළ ලග්ගල නව ප්‍රාදේශීය රෝහල විවෘත කළේ ය. මේ අතර අද පස්වරුවේ ලග්ගල ද්විතීයික පාසල ද ජනතා අයිතියට පත් කෙරුණේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.