ගාස්තු වැඩි නම්, ප්‍රවේශපත් නැති නම් 1955 අමතන්න

ගාස්තු වැඩි නම්, ප්‍රවේශපත් නැති නම් 1955 අමතන්න

by Sagarika Chathumali 08-01-2019 | 6:33 AM
COLOMBO (News 1st) : නියමිත ගාස්තු ඉක්මවා මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කරන බස් රථ 55ක් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි ලැබී ඇතැයි, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ, ඉන් පැමිණිලි 27ක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි. පැමිණිලි 25කට අදාළව එම බස් රථවල සේවකයින්ට අවවාද කර නිදහස් කළ බව ද, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය. මේ අතර නියමිත ගාස්තු ඉක්මවා මුදල් අයකිරීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි අතුරින් 3ක් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සම්බන්ධයෙන් ලැබී තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ, එම පැමිණිලි විමර්ශනය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය වෙත යොමු කළ බවයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ, ගාස්තු වැඩියෙන් අයකරන බස් රථ සේවකයින් කැඳවා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි. මේ අතර වැඩිපුර මුදල් අයකිරීම් සම්බන්ධයෙන් 1955 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ද එම කොමිසම මහජනතාවට දැනුම් දෙයි. කොමිසම සඳහන් කළේ, ඒ සඳහා බස් රථ මඟින් හිමිවන වලංගු ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කිරීමට ද කටයුතු කළ යුතු බවයි. මේ අතර නියමිත ගාස්තු ඉක්මවා මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කරන බස් රථ වැටලීම් සඳහා අඛණ්ඩව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසී ය.