අංගොඩ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය කැලණි ගඟේ

අංගොඩ වෙඩි තැබීමට වෙඩික්කරුවන් ආ යතුරු පැදිය කැලණි ගඟේ

by Staff writer 08-01-2019 | 6:51 AM
COLOMBO (News 1st) : මුල්ලේරියාව, අංගොඩ මංසන්ධියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ, ආරක්ෂිත හිස් වැසුම් දෙකක් ද සමග වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේ කැලණි ගඟේ තිබියදී එම යතුරුපැදිය හමුවී ඇති බවයි. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මාර්ග ආශ්‍රිතව ආරක්ෂිත කැමරා දර්ශන මගින් ඉදිරි විමර්ශන සිදුකරන බවයි. අංගොඩ මංසන්ධියේදී ඊයේ රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ, මියගිය තරුණයා ගැටුම් කිහිපයක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවේ සිටි අයෙකු බවයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබිණ. ඝාතනය සිදුකළ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක අතර කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා තිබේ. මේ අතර පසුගිය වසරේ කොළඹ දිසාවේ සිදුවු වෙඩි තැබීම් 13 කින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. 2018 වසරේ කොළඹ දිසාවේ සිදුවූ වෙඩිතැබීම් 7 කදී 15 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද , පොලීසිය ප්‍රකාශ කළේ ය. මෙම වෙඩි තැබීම්වලින් වැඩි ගණනක් හෙරොයින් ජවාරම් සම්බන්ධයෙන් ඇතිවු ආරවුල් මත සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙඩි තැබීම්වලින් මියගොස් ඇත්තේ ද, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් පිරිසකි. මියගිය පිරිසෙන් කිහිපදෙනෙකු පමණක් මහමඟ ගමන් කරමින් සිටි සමාන්‍ය පුද්ගයින් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමේ සිදුවීම්වලින් 90%ක පමණ විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.