CCD අත්අඩංගුවට පත් මන්ත්‍රී කුලතිස්ස රිමාන්ඩ්

CCD අත්අඩංගුවට පත් මන්ත්‍රී කුලතිස්ස රිමාන්ඩ්

by Sagarika Chathumali 07-01-2019 | 4:46 PM
COLOMBO (News 1st)  : ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී ඩබ්.කේ. කුලතිස්ස ගීගනගේ මහතා ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකාර මන්ත්‍රිවරයා අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පසුගිය ඔක්තොම්බර් 28 වන දා දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයට අයුතු ලෙස ඇතුළුවීම හා අයුතු ජනරාජ්‍ය යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබී ය. එම ස්ථානයේදී ගැටුමක් ඇති වීමට මූලිකවම බලපා ඇත්තේ සැකකාර නාගරික මන්ත්‍රිවරයාගේ ක්‍රියාකාරකම් බව පෙන්වා දෙමින් විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය හා අගතියට පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. සැකකාර නාගරික මන්ත්‍රීවරයා අවිආයුධ සහිත තවත් පිරිසක් සමග සංස්ථා මූලස්ථාන භූමියට ඇතුළු වන අයුරු හා අර්ජුණ රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියාට පහර දෙන අයුරු සී.සී.ටී.වී දර්ශන අනුව තම අධිකරණයට පැහැදිලිව දැක ගන්නට ලැබුණු බව මහෙස්ත්‍රතාත්වරිය එහිදි පෙන්වා දුන්නා ය. සැකකාර නාගරික මන්ත්‍රීවරයා සමග එදින කලහකාරි ලෙස හැසිරුණු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් එහිදි අධිකරණයට පෙන්වා දුන්නේ ය. ඔවුන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා ලෙසට මහෙස්ත්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරින්ට නියෝග කළේ ය.